Friday, May 28, 2010

යට ගියාව 2

පොර කාල නැග්ගට මොකද මේ කෝච්චියේ ඒ තරමට සෙනග හිට්යේ නෑ. ඒක නිසා මට සුරංගනාවි හොයාගන්න අමාරු උනේ නෑ.

"මචං දැන් කොහොමද එන්ටර් වෙන්නෙ." එකෙක් අහනවා.

දැන් ඉතින් එකම ක්‍රමය තමයි වෛරක්කාරිත් එක්ක චැට් එකක් දාන එක. අපේ උන් ටික පොඩ්ඩක් ෂේප් කරල මම කිට්ටු උනා.

ස්ටේෂන් දෙකක් යන්න උනේ නෑ. හතුරිගෙ රේඩාර් එකට මාව අහු උනා. දැන් මොකක් වෙයිද? පරණ හතුරු කම් මතක් කරලා මෙයා එක පාරටම මගෙ ඇඟට ගොඩ උනොත්...ඊටත් මේ දෙනෝ දාහක් ඉස්සරහ.

"හලෝ අකලංක"

මාව නිකන් කරකවල අත ඇරියා වගේ. මෙන්න මෙයා මගේ නම කියල මට අත වනනවා. වැඩෙන් බාගයක් හරි වගේ. මට හිතුනා. හැබයි මිනිස්සුන්ට හතුරන්ගෙ නම් ලු වැඩියෙන් මතක. පොඩි බයකුත් හිතට ආවෙ නැත්තෙ නෑ.

ඕන දෙයක්... මම තව ටිකක් කිට්ටු උනා.

"අපෝ ඔයගොල්ලන්ව දකින්න තියෙන අමාරුව. මම හිතන්නෙ ඒ ලෙවල් කරාට පස්සේ මේ හම්බුනාමද කොහෙද නේද.දැන් මොකද කරන්නේ...ෂුවර් එකටම කැම්පස් වෙන්න ඇති..."

ඔන්න දැන් තමයි මගේ ඇඟට ටිකක් ලේ ටිකක් ඉනුවේ.

"ඔව් නේ...ගොඩාක් කාලෙකට පස්සේ."

මම හොරෙන් පුංචි සුරංගනාවි දිහා බැලුවා. වේගෙන් ඇදෙන කොච්චියේ ජනේලෙ අතරින් එයා සිතිජය දිහා බලාගෙන ඉන්නවා. ජනේලෙන් එන හුළඟට එයා එයාගෙ අහිංසක ඇස් දෙක පියාගන්නවා. ඒ මූණේ තිබුනෙ පුදුම සැහැල්ලුවක්. චූටිම චූටි දම් පාට කරාබු දෙකකුයි හීනිම හීනි මාලයකුයි ඇරෙන්න කිසිම ආභරණයක් එයා පැළඳගෙන හිටියෙ නෑ.

මම මේ වගේ කෙල්ලො සිය ගානකගෙ පස්සෙන් ගිහිල්ලා ඇති. ඒත් මේ පුංචි සුරංගනාව මාව මොහොතකට වෙනම ලෝකෙකට අරන් ගියා.

කෝච්චිය ගමනාන්තය ටත් එන්න ලං උනා. සුරංගනාවි අපිත් එක්ක කතාවට වැටෙන පාටක් නෑ. මට පොඩි දුකකුත් හිතුනා. එයා එයාගේ ලෝකෙ. කල්පනාවක.

බැරිම තැන මම වෛරක්කාරිට වචනෙ දැම්මා.

"මේ වාසනා...මේ...මේ..."
වාසනා කට ඇරන් බලන් ඉන්නවා.

මම සුරංගනාවි ව ඇහින් පෙන්නලා වාසනාගෙන් ඇහුවා..."මෙයා කවුද"

ඔන්න ඒ පාර අර වාසනාගේ සුපුරුදු කට ඇරුනා...
"ආ...එහෙනම් මේකටයි මේ දිවි හිමියෙන් ඇවිත් තියෙන්නෙ. මේ...මල්ලී...ඒවා ගැන හිතලා පව් පුරවගන්න එපා. එයා අක්ක කෙනෙක්..."

මගේ ඔලුව ඇතුලෙ පාට පාට නිලා කූරු මල් වෙඩි දස දහස් ගනන් පත්තු වෙන්න පටන් ගත්තා. මොහොතකට මට හිතන්න අමතක උනා. ඒ වෙලාවෙ එහෙම උනේ ඇයි කියල මට අදටත් හිතාගන්න බෑ.

.....විරාමයකට අවසර........










Wednesday, May 26, 2010

යට ගියාව 1

මේ වෙලාවෙ මට කරන්න වැඩ ගොඩයි. ඒත් ඒ එක වැඩක් වත් කරන්න ඇඟට හයියකුත් නෑ, හිතට හයියකුත් නෑ. ඇඟට හරියට කෑම බීම ටික වැටුනෙ නැති උනාම ඇඟ ලෙඩ වෙනවා වගේ හිතට හරියන ආදරය ලැබුනෙ නැති උනාම හිත ලෙඩ වෙනවා. ඒත් මේ වෙලාවේ සුන්දර මතක ගොන්නක් හරියට චිත්‍රපටියක් වගේ මට මැවිලා පේන්න පටන් ගන්නවා.

ජීවිතයේ මම පහු කරපු සුන්දරම කාල වකවානු වලින් එකක් තමයි මම කැම්පස් ගිය කාලෙ.ජීවිතය ගැන කිසිම බරක් පතළක් අපට තිබුනෙ නෑ.ඔන්න ඔය කාලේ තමයි මගෙ මේ ජීවිතය පුරාවට "අකලංක" කියන පිස්සාට විතරක් ආදරය කරපු කෙල්ලො අතලොස්සෙන් අහිංසකම සුරංගනාවි මට මුණගැහුනෙ.

කෙල්ලො කොල්ලන්ට ආදරය කරන්න පටන් ගන්න හැටිත් කියන්න මම පොඩි වෙලාවක් ගන්නම්. ඔන්න කොල්ලෙක් ඉතින් පෙරුම් පුරලා පුරලා පස්සෙන් ගිහිල්ලා තමන් ගෙ හිත ගිය කෙල්ලගෙන් අමාරුවෙන් අහුවා කියමුකෝ. ඔන්න කෙල්ල ඊට පස්සෙ දානවා හතර වටේටම රේඩාර් එක. යාලුවො මාර්ගෙයෙන් හොයනවා කොල්ලා සල්ලි කාරයෙක්ද, කොල්ලට කාර් බාර් තියෙනවද, තාත්තට බිස්නස් තියෙනවද, අක්කා ලෝයර් ද, කොල්ලට පවුල් බර නැද්ද, මේ කොල්ලව එල්ලගත්තොත් නම් අපේ හත් මුතු පරම්පරාවම ගොඩ...ඔන්න ඔය වගේ දේවල්. ඒත් හැම කෙල්ලම මේ වගේ නෑ කියලත් කියන්න ඕන.

මේ ගැන මම පස්සෙ ලියන්නම්. ලස්සන ආදර කතාවකට මේ වගේ කුණු ගොඩවල් මැදදි ඇද බාන්නෙ මේ ලියන එකාට පිස්සු ද කියල කියවන අය හිතන්න පුලුවන්. ඒත් හැමදාම කියන්න වගේ ඇත්ත තිත්තයි.

මම උදේ හවස කැම්පස් ගියේ කෝච්චියේ. මටම ගැලපෙන පිස්සු යාලුවො ටිකකුත් මට හිටියා. ගමන දුෂ්කරයි. ඒත් ඒ කෝච්චියේ අපි ගත කරපු කාලය ඉතාම සුන්දරයි. ඒවා දැන් ඉබේටම අතීතෙට එකතු වෙලා. මේ මම කියන්න හදන සුරංගනාව මට මුණගැහෙනකොට මම කැම්පස් එකේ කෝඩුකාරයෙක් නම් නෙවේ. මම හිටියේ තුන් වැනි අවුරුද්දේ.

අපි යාලුවො සෙට් එකට දවසක් උදේ කෝච්චිය මිස් උනා. ඒකත් උනේ මගෙ යාලුවෙක් නිසා. අපි ඉතින් මිනිහාටත් බැන බැන ඔරලෝසුවෙ කටු ගනන් කර කර හිටියැයි කියමුකො.

"මචං...දැන් නම් කොහොමත් යන්න බෑ 8 ලෙක්චර් එකට."

ඔන්න එක යාලුවෙක් කියපි.

"උඹට පිස්සු ද බන්...දැන් ඉතින් අල්ලපන් ඒකෙ වල්ගෙ..."
ඒ තව එකෙක්.

"නෑ බං මූ මේ ෆයර් වෙලා ඉන්නෙ අර ආලෝකා එන හින්දනෙ. නැත්නම් මූට කොහෙද අකුරු කරන්න ආසාවක්..."

මෙන්න මේ වගේ කතා අස්සෙ මම දැන් එබි එබී බලනවා අඩුම ගානෙ ඩක්කුවක් වත් එයිද අපිට පිහිට වෙන්න, කියලා.

එක පාරටම ස්ටේසමේ ලොකු කණු දෙකක් අතරින් ඒ පුංචි සුරංගනාවි මතු උනා. එයා ඇඳන් හිටපු චාම් ලා කොල පාට සාරිය එයාගෙ ඇත්දත් පාට හමට සියට සීයක් ගැලපුනා. එක පාරට හමාගෙන ආපු දඟකාර මුහුදු සුලං රැල්ලක් නිසා තරමක් කොටට කපලා තිබුනු එයාගේ කොන්ඩෙ අවුල් උනා. අමුතුම ලතාවකට දෙනෝදාහක් සෙනග අතරින් පුංචි සුරංගනාවි මම හිටපු පැත්තට අදුනා.

කැම්පස් එකේ බොරු සෝබන කෙල්ලො දැකලා එපා වෙලා හිටපු මට මේ සුරන්ංගනාවිගෙන් ඇස් අහකට ගන්න හිතුනෙ නෑ. කැම්පස් එකේ වැඩි හරියක් හිටියේ බොරු සෝබන කාරයො. කොහේහරි ඈත වන්නියක ඉඳලා කොළඹ එනවා. ඊට පස්සේ ඉතින් ඒ ගොල්ලො තමයි කොළඹ ඔක්කොම දන්නේ. මම මේ කියන්නෙ හැමෝ ගැනම නෙවෙයි. සමහර හොඳ ළමයි හිටියා කවදත් ගම අමතක නොකරපු.

මගේ යාලුවො ටිකට මාව නෝට් වෙලා.

"මචං, අද කාටද කුරුමානම"....එකෙක් අහනවා.

"නෑ බං පොඩි ඒන්ජල් කෙනෙක් ආවා මේ පැත්තට... එකයි බැලුවේ"

කෝ...කෝ..මුන්ටත් පුදුම හදිස්සියක් නෙ තියෙන්නෙ.
මචං එන පොට හරි නෑ. පිය රජතුමා ත් සමගයි උඹේ කුමරිය එන්නේ

අයියෝ...ඉතින් ඉවරයි...මට හිතුනා. දැන් ඔන්න තාත්තයි දූයි අපිව පහු කරගෙන යනවා. අපේ කොල්ලො ටික රටේ නැති සද්ද ටික දැන් මට දානවා.

එකපාරටම මේ දෙපල ගිහින් නැවතුනේ තවත් කෝච්චි සෙට් එකක් ලඟ. කෝච්චි සෙට් එකක් කිව්වේ කෝච්චියේ සෙට් වෙලා එකට යන කට්ටියකට. මම හොඳට ඇස් ඇරලාබැලුවා. ඉස්කොලෙ යන කාලෙ මගෙ ජන්මාන්තර වෛර කෙල්ලෙක් එතන. දැන් මොකද කරන්නෙ. එහෙන් තාත්තා. මෙහෙන් වෛරක්කාරි. ඔන්න එක පාරටම දෙයියො බැලුව වගේ තාත්තා කට්ටියට සමු දීල ආපු පාරෙම යන්න ගියා.

එතකොටම හූ හඬ ඇහුනා. මචං අකලංක යමුද පස්සෙන් එකෙක් කියනවා වගේ මට යාන්තමට ඇහුනා.

මම දෙපාරක් හිතුවේ නෑ...

.....විරාමයකට අවසර........

Thursday, May 20, 2010

ආදරයයි විවහයයි

මම මේ කියන්න හදන කතාව අහලා කලබල වෙන්නවත් මට දොස් පවරන්න වත් එපා. ඒත් මම හිතනවා මේක තමයි තිත්ත ඇත්ත කියලා.

මේ කතාවේ කතා නායිකාව මගේ හොඳම යාලුවෙක්.අපි එයාට චමිලා කියමු. (හැබයි එයාගෙ ඇත්ත නම නම් ඒක නෙමෙයි.) මට මුලින්ම එයාව අඳුරගන්න ලැබුනේ මම කොළඹ කැම්පස් ආපු මුල් දවස් වලමයි. චමිලා කියන්නේ හැමතිස්සෙම ආදරය ගැන කතා කරපු,නිතර කවි සින්දු ලියපු, හරිම සැහැල්ලුවට ජීවිතේ ගැන කතා කරපු, කාටත් උදව් කරපු හරි හොඳ කෙල්ලක්. අනිත් කෙල්ලො සෙට් වෙලා වල බහිද්දි චමිලා හිටියෙ එයාගෙ කොල්ලගෙ අතේ ම එල්ලිලා. ඇත්තටම අපේ අනිත් එවුනුත් කතා උනෙ ඒකි නම් මාර කෙල්ලක්. කොල්ල කොච්චර වාසනාවන්තද
කියලා. කොටින්ම කියනවා නම් එයා ඒ දවස් වල කෑවේ බිව්වෙත් ආදරය කියලයි මට නම් හිතුනෙ.

පොඩ්ඩකට හරි වෙන් වෙලා හිටියත් විනාඩි 10 න් 10 ට එකිනෙකාට කෝල් කරගෙන "ඔයා කෑවද, ඔයා බිව්වද, ඔයා අද අඳින්නෙ මොකක් ද, ඔයා අද දාන සපත්තු දෙකේ පාට මොකක්ද...." කියලා අහලා නිතර සැප දුක බලන පුරුද්දකුත් චමිලා ගෙ තිබුනා. අපේ උන්ට මේක මහ විකාරයක් වගේ පෙනුනට මට නම් වෙලාවකට හිතුනෙ ආදරය කියන්නෙ මෙන්න මේ වගේ බොලඳ දෙයක් වෙන්න ඕන කියලා.

කාලය ඉගිල්ලුනා. අපේ කැම්පස් ජීවිතය ඉවර උනා. හැමෝම එක එක තැන් වලට පාවෙලා ගියා. ඇත්තටම චමිලා ගැන මට අමතක උනා කිව්වොත් වැරදි නෑ. එත් අපි හිතන තරම් මේ ලෝකෙ ලොකු නෑ. අපිට අපේ අතීතය වත් අපිත් එක්ක හිටපු අපේ හිතවතුන්වත් අමතක කරන්න එච්චර ලේසි නෑ. කෙනෙක් ව මුණ ගැහෙන්න තියෙනවා නම් කොහොමහරි ඒ කෙනාව දෛවය විසින් මුණගස්වනවා.

ඉතින් මට මේ ලඟදි දවසක් චමිලා ව අහම්බෙන් මුණ ගැහුනා. "චමිලා ලස්සන වෙලා". මට එකපාරටම හිතුනා. අපි දෙන්නා කතාවට වැටුනා.

"ඉතින් අකලංක, කොහොමද ජීවිතේ"....චමිලා අහුවා.
"වරදක් නෑ චමිලා...කොහොමද ඔයාට"

චමිලා අර යාලුවෙලා හිටපු කොල්ලාවම මැරි කලා කියලා මට ආරංචි උනත් ඒක අහන්න මට නිකම් මොකක්ද වගේ. ඒත් බැරිම තැන මම ඇහුවා.

"ඔව් අපි බැඳලා දැන් අවුරුදු 3 ක්. සහන් බැඳලා මාස දෙකෙන් රට ගියා නෙ"

මට වෙනසක් තෙරුනා. චමිලා කතා කලේ හරියට සිංහල බෑ වගේ. "සහන් නේද රට ගියේ. මෙයාට මොනවා වෙලාද...." මට හිතුනා. මිනිස්සු කරන කියන හුඟක් දේවල් දිහා උපහාසයෙන් බලන්න පුරුදු වෙලා හිටපු මට මේක අරුමයකි උනේ නැහැ.

ඒ දවස් වල ආදරය කරපු හැටියට මම හිතුවා දැන් මෙයා හැඬු කඳුලෙන් ඇති කියලා. මට මතක් උනා ඒ දවස් වල චමිලා කියපු රොමෑන්ටික් කතා. ඒවා අහගෙන ඉන්න බැරි තරමට බොලඳයි.

මම පොඩි හින්දි චිත්‍රපටියක දෙබසක් දැම්මා. චමිලා ඒ දවස් වල ඔය බොලඳ හින්දි ෆිල්ම් ඔක්කොම එකක් නෑර බලනවා. ඊට පස්සේ ඉතින් අපිට වදේ. එයාගේ ලෝකෙ උනේ එවා තමයි.

"ඔයා ඇස් දෙක වහන්න. එතකොට සහන් ඔයා ඉස්සරහ ඉඳීවි "

චමිලා ගෙ මූණ කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.

"ඊයා..........මොනවද අකලංක ඔයා ඔය කියන බොලඳ කතා. හරියට හින්දි ෆිල්ම් එකක වගේ නේ. ඒ කාලේ දැන් ගියා."

චමිලා කිව්වේ හරියට කවදාවත් එයා බොලඳ හින්දි චිත්‍රපටි නොබලපු හැමදාම බොහොම ක්ලැසික් ෆිල්ම්ස් බලපු කෙනෙක් ගානට. එයා මාත් එක්ක කතා කලේ හරියට අමුතු සතෙක් එක්ක කතා කරන ගානට.

ඇත්තටම මට අදහගන්න බැරි උනා. ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ. මට නම් හිතුනේ බැන්දට පස්සේ තමයි චමිලා මෙහෙම වෙනස් උනේ කියලා. ඒත් මට තවම හිතාගන්න බෑ. මේකට වගකියන්න ඕන කාලයද, කසාදෙද,පරිසරයද?

කෙනෙක් මේ වගේ වෙන්නේ එයාට ජීවිතේ හරි කෙනා ලැබුනෙ නැති උනාමද? මට ප්‍රශ්න ගොඩයි. ආදරය කියන එක හැමදාම බොලඳ වෙන්න ඕන නේ ද?

වෙන කෙනෙක් ට නම් කමක් නෑ. මට දුක ගහ දන්න මට ම චමිලා කොල කඩලා පෙන්නපු එකයි. අපි පිටින් ලස්සනයි කියල හිතන් ඉන්න ගොඩක් දේවල් වල ඇතුල් කුණු ගොඩවල් කියලයි සමහර වෙලාවට මට හිතෙන්නේ.

කවදාවත් බොරුවට ආදරය කරන්න එපා. පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි. ඊට පස්සෙ බොරුවට පිටට ලොකු ආදරයක් පෙන්නගෙන තිත්ත කසාය බොනවා වගේ ජීවත් වෙනවා. අනික තමන් බොලඳයි නම් ඒක ලෝකෙට කියන්න බය වෙන්න ඕන නෑ නේද? තනියම ෂාරුක් ඉන්න චිත්‍රපටි බලලා කට්ටිය සෙට් උනහම ඩා වින්චි කෝඩ් ගැන කතා කරන්නෙ ඇයි?

හිතන්න...හැමෝටම තමන් ආදරය කරන කෙනා ලැබෙනෙ නෑ. ඒ ලැබුනත් කසාද බඳින්න ලැබෙන්නෙත් නෑ. මම වැරදි වෙන්නත් පුලුවන්. ආදරය කසාද බැඳිල්ලෙන් ඉවර වෙන්නම ඕනද. කසාද බැන්ඳට පස්සේ හැමෝම චමිලා වගේ වෙනවද?

අර කියනවා වගේ ඇත්ත තිත්තයි. ඒ තිත්තට මූණ දෙන්න.







ඇරඹුම

ජීවිතය ලස්සන කරගන්න මිනිස්සු නොකරන දෙයක් නෑ. වෙලාවකට වැරදියි කියල දැන දැනත් කොච්චර දේවල් මිනිස්සු කරනවද. ඒ අපි ජීවත් වෙලා ඉන්න ටික කාලය ඇතුලත ජීවිතය ලස්සන කරගන්න.

මෙතැන් පටන් එකතු වෙන්න...ජීවිතයේ නොහිතන පැති වලට යන්න...