Monday, July 18, 2011

ජීවත් වෙන්න තනියෙන් පුලුවන් ද?

කාලය ගෙවිල යන්නෙ අපි කාටත් හොරෙන්. අපේ ජීවිතෙත් දවසෙන් දවස ගෙවිල යනවා. කාලෙකින් "ජීවිතය" ට යමක් එකතු කරන්නත් බැරි උනා. ජීවිතේ සංකීර්ණ වෙනවා. අපි සුනාමියකට අහු වෙලා. දන්නෙම නැතුව අපි කොහෙට හරි තල්ලු වෙලා කියලයි මට හිතෙන්නෙ. ගෙවිල යන කාලයත් එක්ක අත්දැකීම් ගොන්නක් අපේ ජීවිත වලට එකතු වෙනවා. තමන් වයසට යන්න යන්න, අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ජීවිතය පුරාවට කරපු හොඳ නරක තමන් ටම තේරුම් යන කාලයක් උදා වෙනවා. හැබැයි ජීවත් වෙනවා කියන්නෙ තමන් ව විතරක් තේරුම් අරගෙන කාලා බීලා මැරෙනකම් ඉන්න එකටම නෙවෙයි.

ජීවිතය ඉස්සරහට ගෙනියන්න අපට සම්බන්දකම් ඕන කරනවා. ජීවත් වෙන්න තනියම බැහැ. ඉපදුන දවසේ ඉඳලා අම්මා තාත්තා අපිව බලා ගන්නවා. දෙමාපියන් ගෙ ආදරය, සම්බන්දම මුලු ජීවිතය පුරාවටම තියෙන මහ පුදුමාකාර දෙයක්. ඒක බ්ලොග් එකක එක ලිපියකින් දෙකකින් ලියලා ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවේ. අම්මා තාත්තා ගෙන් පස්සෙ ඊලඟට එන්නෙ අපේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියො. අපේ ජීවිතේ මුල්ම කාලය අපි බෙදා ගන්නේ අපේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා එක්ක.

සහෝදර ප්‍රේමය කියන්නෙත් වචනෙකින් දෙකකින් ලියලා ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ටිකක් උස් මහත් වෙලා ජීවිතය පටන් ගන්නකොට අපේ ජීවිත වලට එන්නෙ යාලුවො. පුංචි කාලෙදි අපිට හැදෙන යාලුවො අපේ ජීවිතය තියෙන පුරාවටම අපිත් එක්ක ඉන්නවා. යාලුවො ගැන මම මීට කලිනුත් සඳහන් කරලා තියෙන නිසා මෙතනදි මම වැඩි විස්තර නොකියා ඉන්නම්.

ඊටත් පස්සෙ තමයි අපේ ජීවිතේ තවත් එක් වැදගත් සැතපුම් කනුවක් අපට මුණ ගැගෙන්නේ. ඒතමයි කසාදය. අපේ ජීවිත වලින් බාගෙකටත් වඩා අපි ගත කරන්නෙ අපේ ජීවන සහකාරිය නැත්නම් සහකාරයා එක්ක.

සමහරු හිතන්න පුලුවන් අපේ ජීවත වලට සම්බන්ධ වෙන්නෙ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ තමන් ගෙ ජීවන සහකාරයා හරි සහකාරිය හරි විතරක් කියලා. ටිකක් කල්පනා කරලා බලන්න. මේ ලෝකේ අපිට මුණගැහෙන හැම කෙනාටම වටිනාකමක් තියෙනවා. කඩේට ගියාම කඩේ මුදලාලි, කොණ්ඩෙ කපන්න ගියාම බාබර්. බස් එකට නැග්ගම ඩ්‍රයිවර්, කොන්දොස්තර. මේ අය අපේ කව්ද. එත් මේ අය නැත්නම් අපිට ජීවත් වෙන්න පුලුවන් ද. හිතන්න පාරේ කුණු අස් කරන අය සුමානයක් ස්ට්‍රයික් කලොත්. වෙන දේ මම කියන්න ඕන නැහැනෙ.

ජීවිතය කියන්නෙ තමන්ට තනියම රජ වෙලා ගත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහරු හිතාගෙන ඉන්නෙ තමන්ට කවුරුවත් ඕන නෑ කියලා. එහෙම අයට ජීවිතේ කියන්නෙ ඩීල් එකක්. තමන්ගෙ අම්මා තාත්තා ගෙ පවා ණය, ගෙදරට සල්ලි යවලා පියවන්න මේ ජාතියෙ අයට පුලුවන්. තව සමහරු අනුන්ට උදව් කරන්න වෙයි කියලා බයේ අනුන්ගෙන් සත පහක දෙයක් වත් ගන්නේ නෑ. ජීවිතේ දි අපට මුණගැගෙන හැමෝම එක විදිය නැහැ. සුදු කලු විතරක් නෙවෙයි අලු චරිතත් මේ අතර ඉන්නවා. අපිට හොඳ මූණ පෙන්නලා පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින අය වගේම අපට ඇත්තටම හිතවත් අය මේ ලෝකෙ ඉන්නවා කියලත් ටිකක් තේරුම් ගන්න ඕන. අත් දැකීම් තියෙන කෙනෙක් තමන් ට මොනව හරි උපදෙසක් දෙනකොට "මේ යකා එන්නෙ නම් මාව පාවිච්චි කරන්න තමා. මුගෙන් නම් ගැලවෙන්න ඕන" කියලා හිතන මිනිහට දියුණුවක් නැහැ. මුළු ලෝකෙ දිහාම සැකෙන් බලන මේ වගේ මෝඩයො හිතා ගෙන ඉන්නෙ තමන් ට තනියම ඔක්කොම කරගන්න පුලුවන් කියලා. හීන මානයෙනුයි කුහක කමිනුයි පිරුනු මේ වගේ අයට වෙන්නෙ අන්තිමට කවුරුත් නැතුව තනි වෙන්නයි. යමක් බෙදා හදා ගන්න අකමැති කෙනාගෙන් කාටවත් වැඩක් නැහැ. එහෙම අයගෙන් අනිත් අය ඈත් වෙන එක පුදුමයක් නෙවේ. මෙහෙම තනි උන සමහර අය තමන් ව ගනන් ගන්නෙ නෑ කියලා අනිත් අයට සාප කරනවා. මිනිස්සු හැම තිස්සෙම සම්බ්න්ධ කම් පවත්වන්න කැමති බෙදා හදා ගන්න අයත් එක්ක. ජීවිතේ හැටි එහෙම තමයි.

ජීවිතේ අපි අසරණ වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. හදිස්සියක් උනාම අපි කාටහරි කලෙක්ෂන් එකක් දාල සල්ලි එකතු කරලා දෙන්නෙ ආපහු ගන්න බලාගෙනද. අනිත් අතට කලෙක්ෂන් එක ගත්තු කෙනා හිතනවා නම් මම හැමෝටම ණය උනා කියල ඒක මහ කුහක හිතිවිල්ලක්. හැබැයි කල උදව් අමතක කරන්න හොඳ නැහැ. තමන්ට හදිස්සියකදී උදව් කරන අයට උදව් කරන එක තමන් ගෙ යුතුකමක්. ඉස්සෙල්ලා කිව්වා වගේ තනියම ජීවත් වෙන්න හදන මිනිහා ගෙන් කාටවත් වැඩක් නැහැ. ඒ අය ඉබේම කොන් වෙනවා. උදාහරණයක් හැටියට එක බෝඩිමක ඉන්න දෙන්නෙක් වෙන වෙනම උයාගෙන කනවා කියන්නෙ කොච්චර විහිලුවක් ද. සමහරු යමක් හොඳහිතින් දෙනකොට හිතන්නෙ "මෙයා නම් මේක දෙන්නෙ මගෙන් බලාගෙන තමයි" කියලා .දෙන්න හදනකොට එපා එපා එපා කියලා මැරෙන්න හදන සමහරු එහෙම කරන්නේ තමන් ටත් අනිත් කෙනාට දෙන්න වෙයි කියලා බයට.

අපේ ජීවිතේ පටන් ගත්තු දවසේ ඉඳලා හොඳ නරක කියා දෙන්න අපිට හුඟක් අය ඉන්නවා. අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ගෙ ඉඳලා අපිට එදිනෙදා මුණගැගෙන අපි අඳුනන්නෙ නැති සමහර පුද්ගලයා වෙනකම් හොඳ නරක ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒකට අපි නම්‍යශීලී වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන. අත්දැකීම් තියෙන කෙනෙක් උපදෙසක් දුන්නම කුණු මාලු කෑල්ලක් වගේ ඒක අහක දාන්නෙ නැතුව පොඩ්ඩක් පිලිගන්න. මේ සම්බන්ධව ලොකු වගකීමක් අම්මලා තාත්තලාට තියෙනවා. පොඩි කාලේ ඉඳලම ළමයිට බෙදා හදා ගන්න පුරුදු කරන්න. නරක ළමයෙක් වෙයි කියලා ළමයාව සමාජයට නොදා ඉන්න එපා.

අද සමාජය විශ්වාස කරන්න අමාරුයි තමයි. එත් තමන් ගෙ ළමයට අනිත් ළමයි එක්ක ගැටෙන්නෙ දෙන්න. එතකොට තමයි ඒ ළමයා ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. තනියම ජීවත් වෙන කෙනා ගෙන් සමාජයට කිසිම කරදරයක් නැති උනත් ඒ පුද්ගලයා මැරෙනකම්ම හිතෙන් විඳවනවා. එ වගේ අය සමාජයෙන් කොන් වෙලා කිසිම ප්‍රයෝජනවත් නැති කෙනෙක් හැටියටයි ජීවත් වෙන්නෙ. ඒක නිසා පොඩි කාලේ ඉඳන් ම තමන්ගෙ ළමයව සමාජයට අත අරින්න හොඳ නරක ඉගෙන ගන්න. නැත්නම් ලෝකෙම සැක කර කර ලෝකෙටම සාප කර කර තනියම ජීවත් වෙන කුහක සමාජයක් අපි අතර ගොඩනැගෙයි. අනික තව කෙනෙක් එක්ක බෙදාහදා ගන්න බැරි කෙනා කසාදයක් බැඳලා පවුලක් කන්නෙ කොහොමද. අපේ අනාගතය කියන්නෙ පවුල් සංස්ථාව. අනාගතයේ අත්තිවාරම. ඒක නිසා අනාගතයේ අත්තිවාරම දෙදරන්න දෙන්න එපා.

අපි ජීවත් වෙන්නෙ පොඩිම පොඩි කාලයක්. ඒක හොඳට හිතට ගන්න. තනියම ආත්මාර්ථකාමී වෙලා ගත කරන්න මේ ජීවිතය මදි. තියෙන දෙයක් බෙදා හදාගන්න. අනුන්ට උදව් කරන්න වෙයි කියලා අනුන්ගෙන් උදව් නොගෙන ඉන්න එපා. අපි සර්ව සම්පූර්ණ නැති නිසා අනිත් අය කියන දේ ට ඇහුම් කන් දෙන්න. එතකොට තමන් තනි වෙන්නෙ නෑ වගේම ලස්සන හෙටක් අපිට ඉතුරු වෙයි.