Thursday, January 24, 2013

සුදුස්සෝ සහ නුසුදුස්සෝ

ජීවත් වෙන්න අපි හැමෝටම ආදරය ඕන. ඒ ආදරයේ උවමනාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පොඩි කාලේ අම්මා නැතුව අඬන ළමයි තරුණ කාලේ වෙද්දි අම්මාට බොරු කියලා තමන්ගෙ පෙම්වතිය පෙම්වතාව හොයාගෙන යනවා. ඒ කාලෙදි ඒ ගොල්ලො අඬන්නේ තමන්ගෙ පෙම්වතිය ගෙන් හරි පෙම්වතාගෙන් හරි හිත් රිදීමක් උනොත් තමයි. ජීවිතේ තව ඉස්සරහට යනකොට මිනිස්සු අඬන්නෙ තමන් ගෙ දරුවන් නිසා. දරුවන් කරන වැරදි වලට සමහර විට අම්මලා තාත්තලා කඳුලු පෙන්නන්නෙ නැතුව අඬන්න පුලුවන්. ඒත් කරුමෙ කියනේ ගොඩක් ළමයින්ට මේක තේරෙන්නෙ තමනුත් කවදා හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උන දවසට. මේ වගේ ආදර වර්ග කීපයක් නිසා තමයි මේ ලෝකෙ රඳා පවතින්නේ. අපේ මේ කෙටි ජීවිත කාලෙදි අපට මුණ ගැසෙන මේ එක එක ආදර ජාති වලින් ගොඩක් දෙනා කතා කරන දෙයක් තමා යොවුන් ආදරය. ඒත් මේ ආදරය කොච්චර දුරකට කල් පවතිනවද, එහෙම නැත්නම් ඇත්තටම පෙම්වතුන් වෙලා ඉන්න අය ආදරය ලබන්න සුදුසු ද, වගේ ප්‍රශ්න ගොඩක් මේ ආදරය එක්ක එකට එකතු වෙලා තියෙනවා. ආදරය කරන්න දෙන්නෙක් ඕනමද කියන එකත් සමහරුන්ට තියෙන ප්‍රශ්නයනක්. එත් මම අද කතා කරන්න යන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැන නෙවෙයි.

ආදරයත් හරියට සල්ලි වගේ කියලයි මට හිතෙන්නේ. සල්ලි තියෙන කෙනාට ඒ සල්ලි වල වටිනාකමක් නෑ. එයාට සල්ලි තව ඕන නෑ. එත් නැති මිනිහට සල්ලි වල වටිනාකමක් තියෙනවා. මට සල්ලි තිබුනා නම් මම අරක කරනවා, මේක කරනවා කිය කිය එයා හීන මවනවා. බලන්න ආදරයත් ඒ වගේ නේද. තියෙන කෙනාට එකේ අගයක් නෑ. මේ ලෝකෙ හරිම පුදුමයි. ආදර බර මිනිස්සුනට කවදාවත් හොඳ ආදරයක් ලැබෙන්නේ නැහැ. සමහරුන්ගෙ ආදරය ලබන්න තවත් සමහරු වාසනාවන්ත නැහැ. අද කාලේ ගොඩක් සම්බන්දතා පටන් ගන්නේ තේරුමක් ඇතුව නෙවෙයි. කෙනෙකුට ආදරය කරන්නේ ඇයි කියල ඈහුවම ඒකට දෙන උත්තරේ අනුව හිතාගන්න පුලුවන් මොන හේතුවකට ද සම්බන්දෙ පටන් ගත්තෙ කියලා. කෙනෙක් තව කෙනෙක්ට ආදරය කරන හේතුව වෙන්න ඕනෙත් ආදරයම තමයි. මට මතකයි මම මගේ යාලුවෙක්ගෙන් දවසක් ඇහුවා ඇයි උඹ ඒ කෙල්ලට කැමති උනේ කියලා. එතකොට මගේ යාලුවා දීපු උත්තරේ තමයි "මම කැමති උනේ එයාගෙ ඇස් දෙකට" කියල. මේ ලෝකෙම ඉන්න හොඳම ජෝඩුව වගේ පෙන්නගෙන හිටපු ඒ දෙන්නා මේ වෙනකොට වෙන් වෙලා. කෙනෙක්ට ආදරය කරන්න කලින් පෙනුම ගැන බලන එක වැරැද්දක් නෙවෙයි. ඒක මනුස්ස ස්වභාවය. මොකද හුඟක් වෙලාවට තව කෙනෙක්ට හිත ඇදිලා යන්නේ බාහිර පෙනුමට නිසා. අද හුඟක් වෙලා තියෙන්නෙ දැකපු ගමන් කැමති වෙනවා. ඊට පස්සේ දෙන්නා තේරුම් ගන්න කලින් එකතු වෙනවා. කසාද බැන්දාට පස්සෙ තමයි එකිනෙකාව තේරුම් ගන්න උත්සහ කරන්නේ. එතකොට පරක්කු වැඩියි. නොගැලපීම් එනකොට එකට ඉන්න බැරි වෙනවා. ඊට පස්සෙ වෙන් වෙනවා. ඒක නිසා හැම තිස්සෙම අනිත් කෙනාව තේරුම් ගන්න බලන්න.

අද හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ට හරියටම ආදරය කරන්නෙ කව්ද කියන එක හොයාගන්න බැරි කම. මේ කියන්න යන දේ ටිකක් තිත්ත උනත් කියන්නම වෙනවා. මේ ප්‍රශ්නය වැඩි හරියක් තියෙන්නෙ ගෑනු ළමයින්ටයි. වෙස් මූණු දාගෙන කතා කරන අයට කවදා හරි තමන්ගෙ නියම මූණ අමතක වෙනවා වගේ ගෑණු ළමයින්ටත් අතරමං වෙන්න වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද කියල දැන් හුඟක් ගෑණු ළමයි ප්‍රශ්න කරන්න පුලුවන්. ඒක සරලයි. කාන්තා පාර්ශවය ළඟ දකින්න තියෙන දෙයක් තමයි එක එක දේවල් වලට එක එක පිරිමි යොදාගන්න එක. උදව් ගන්න කෙනෙක්, ඒ අයගේ ජීවිතේ ප්‍රශ්න කියන්න තව කෙනෙක්, තමන් ගෙ සතුට බෙදාගන්න තව කෙනෙක්, ආදරය කරන්න තව කෙනෙක්. මෙන්න මෙහෙම තමන් ගෙ එක එක මූඩ් වලට එක එක පිරිමි කාන්තාවන්ට ඉන්නවා. හැබැයි මේ අය එකට ගාවගන්නත් කාන්තාව කැමති නැහැ. උදාහරණයක් විදියට කැම්පස් එකේ තමන් ට උදව් කරන, නෝට්ස් ටික දෙන, හැම ඕන එපා කමක් ම හොයන කොල්ලට තමන්ගෙ ගෙදර දාන පාර්ටි එකට ඉන්වයිට් කරන්න කෙල්ලො කැමති නැහැ. ඒවට වෙනම කට්ටියක් ඒගොල්ලන්ට ඉන්නවා. ආපහු මොකක් හරි උදව්වක් මතක් උනාම අර කොල්ලව ආයි මතක් වෙනවා. මේ වැඩෙන් වෙන්නෙ අර පාර්ටි කොල්ලයි කඩේ යන කොල්ලයි දෙන්නම මේ කෙල්ලට ආදරය කරන්න ගන්නවා. මේ එක උදාහරනයක් විතරයි. මේකට තව කොල්ලො එකතු වෙන්න පුලුවන්. මේකෙන් කෙල්ල අතරමං වෙනවා. එකෙක් ට ආදරය කරලා අනිත් අය නැති කරගන්නත් මේ අය කැමති නැහැ. මේ වගේ වෙලාවල් වලදි බොහෝ විට කෙල්ලො වැරදි තීරණ ගන්න පුලුවන්.

තමන් හිනා වෙලා  ඉන්නකම් තමන් ගේ වටේට ඕන තරම් අය ඉන්නවා. විනෝද වෙන්න සෙට් වෙන්න ඕන කෙනක් කැමතියි. ඒත් කරදරයක් උන වෙලාවට ඉන්නෙ කව්ද කියන එක දැනගන්න ඕන. හුඟක් අය අද මේක තේරුම් ගන්නේ නැහැ. සමහරු ආදරය කලත් ඒක කියන්නේ නැහැ. තමන් එක්ක එකට විනෝද වෙන කෙනා වගේම නිහඬව තමන් දිහා බලාගෙන ඉන්නෙ නිතරම හෙවනැල්ල වගේ ඉන්න කෙනා ගැනත් අවබෝධයක් ඇති කරගන්න එක වැදගත්. නිහඬව හිටියට එයා ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්. ඒ නිසා තමන් කෙනෙක් ව කුණු කූඩෙට දාන්න කලින් එයා ගැන දැනගන්න. ඇත්තටම ආදරය කරන අයගෙන් ඒ ආදරය ලබන්න වාසනාව තියෙන්නෙ ඕන. මහ මෙරෙක් වගේ ආදරය කරන්න පුලුවන් අය ඒ ආදරය හිත් වල තියාගෙන බලාගෙන ඉන්නවා.  ඒ වගේ අයගෙ ආදරය ලබන අය අද හුඟක් අඩුයි. මොකද ආදරයට ආදරය කරන අය අද හුඟක් අඩු නිසා. මිනිස්සු ආදරය කරන්නේ වෙන වෙන දේවල් වලට. තමන් ගෙ වාසියට. මේ ගැන දිගටම කතා කරමු. අදට මේ ටික හිතන්න.

සුදුසු අයට තමගෙ ආදරය දෙන්න. තමන්ට හරියටම ආදරය කරන්නෙ කව්ද කියල මොළෙන් තේරුම් ගන්න. හැබැයි හදවතෙන් ආදරය කරන්න.