Thursday, May 20, 2010

ආදරයයි විවහයයි

මම මේ කියන්න හදන කතාව අහලා කලබල වෙන්නවත් මට දොස් පවරන්න වත් එපා. ඒත් මම හිතනවා මේක තමයි තිත්ත ඇත්ත කියලා.

මේ කතාවේ කතා නායිකාව මගේ හොඳම යාලුවෙක්.අපි එයාට චමිලා කියමු. (හැබයි එයාගෙ ඇත්ත නම නම් ඒක නෙමෙයි.) මට මුලින්ම එයාව අඳුරගන්න ලැබුනේ මම කොළඹ කැම්පස් ආපු මුල් දවස් වලමයි. චමිලා කියන්නේ හැමතිස්සෙම ආදරය ගැන කතා කරපු,නිතර කවි සින්දු ලියපු, හරිම සැහැල්ලුවට ජීවිතේ ගැන කතා කරපු, කාටත් උදව් කරපු හරි හොඳ කෙල්ලක්. අනිත් කෙල්ලො සෙට් වෙලා වල බහිද්දි චමිලා හිටියෙ එයාගෙ කොල්ලගෙ අතේ ම එල්ලිලා. ඇත්තටම අපේ අනිත් එවුනුත් කතා උනෙ ඒකි නම් මාර කෙල්ලක්. කොල්ල කොච්චර වාසනාවන්තද
කියලා. කොටින්ම කියනවා නම් එයා ඒ දවස් වල කෑවේ බිව්වෙත් ආදරය කියලයි මට නම් හිතුනෙ.

පොඩ්ඩකට හරි වෙන් වෙලා හිටියත් විනාඩි 10 න් 10 ට එකිනෙකාට කෝල් කරගෙන "ඔයා කෑවද, ඔයා බිව්වද, ඔයා අද අඳින්නෙ මොකක් ද, ඔයා අද දාන සපත්තු දෙකේ පාට මොකක්ද...." කියලා අහලා නිතර සැප දුක බලන පුරුද්දකුත් චමිලා ගෙ තිබුනා. අපේ උන්ට මේක මහ විකාරයක් වගේ පෙනුනට මට නම් වෙලාවකට හිතුනෙ ආදරය කියන්නෙ මෙන්න මේ වගේ බොලඳ දෙයක් වෙන්න ඕන කියලා.

කාලය ඉගිල්ලුනා. අපේ කැම්පස් ජීවිතය ඉවර උනා. හැමෝම එක එක තැන් වලට පාවෙලා ගියා. ඇත්තටම චමිලා ගැන මට අමතක උනා කිව්වොත් වැරදි නෑ. එත් අපි හිතන තරම් මේ ලෝකෙ ලොකු නෑ. අපිට අපේ අතීතය වත් අපිත් එක්ක හිටපු අපේ හිතවතුන්වත් අමතක කරන්න එච්චර ලේසි නෑ. කෙනෙක් ව මුණ ගැහෙන්න තියෙනවා නම් කොහොමහරි ඒ කෙනාව දෛවය විසින් මුණගස්වනවා.

ඉතින් මට මේ ලඟදි දවසක් චමිලා ව අහම්බෙන් මුණ ගැහුනා. "චමිලා ලස්සන වෙලා". මට එකපාරටම හිතුනා. අපි දෙන්නා කතාවට වැටුනා.

"ඉතින් අකලංක, කොහොමද ජීවිතේ"....චමිලා අහුවා.
"වරදක් නෑ චමිලා...කොහොමද ඔයාට"

චමිලා අර යාලුවෙලා හිටපු කොල්ලාවම මැරි කලා කියලා මට ආරංචි උනත් ඒක අහන්න මට නිකම් මොකක්ද වගේ. ඒත් බැරිම තැන මම ඇහුවා.

"ඔව් අපි බැඳලා දැන් අවුරුදු 3 ක්. සහන් බැඳලා මාස දෙකෙන් රට ගියා නෙ"

මට වෙනසක් තෙරුනා. චමිලා කතා කලේ හරියට සිංහල බෑ වගේ. "සහන් නේද රට ගියේ. මෙයාට මොනවා වෙලාද...." මට හිතුනා. මිනිස්සු කරන කියන හුඟක් දේවල් දිහා උපහාසයෙන් බලන්න පුරුදු වෙලා හිටපු මට මේක අරුමයකි උනේ නැහැ.

ඒ දවස් වල ආදරය කරපු හැටියට මම හිතුවා දැන් මෙයා හැඬු කඳුලෙන් ඇති කියලා. මට මතක් උනා ඒ දවස් වල චමිලා කියපු රොමෑන්ටික් කතා. ඒවා අහගෙන ඉන්න බැරි තරමට බොලඳයි.

මම පොඩි හින්දි චිත්‍රපටියක දෙබසක් දැම්මා. චමිලා ඒ දවස් වල ඔය බොලඳ හින්දි ෆිල්ම් ඔක්කොම එකක් නෑර බලනවා. ඊට පස්සේ ඉතින් අපිට වදේ. එයාගේ ලෝකෙ උනේ එවා තමයි.

"ඔයා ඇස් දෙක වහන්න. එතකොට සහන් ඔයා ඉස්සරහ ඉඳීවි "

චමිලා ගෙ මූණ කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.

"ඊයා..........මොනවද අකලංක ඔයා ඔය කියන බොලඳ කතා. හරියට හින්දි ෆිල්ම් එකක වගේ නේ. ඒ කාලේ දැන් ගියා."

චමිලා කිව්වේ හරියට කවදාවත් එයා බොලඳ හින්දි චිත්‍රපටි නොබලපු හැමදාම බොහොම ක්ලැසික් ෆිල්ම්ස් බලපු කෙනෙක් ගානට. එයා මාත් එක්ක කතා කලේ හරියට අමුතු සතෙක් එක්ක කතා කරන ගානට.

ඇත්තටම මට අදහගන්න බැරි උනා. ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ. මට නම් හිතුනේ බැන්දට පස්සේ තමයි චමිලා මෙහෙම වෙනස් උනේ කියලා. ඒත් මට තවම හිතාගන්න බෑ. මේකට වගකියන්න ඕන කාලයද, කසාදෙද,පරිසරයද?

කෙනෙක් මේ වගේ වෙන්නේ එයාට ජීවිතේ හරි කෙනා ලැබුනෙ නැති උනාමද? මට ප්‍රශ්න ගොඩයි. ආදරය කියන එක හැමදාම බොලඳ වෙන්න ඕන නේ ද?

වෙන කෙනෙක් ට නම් කමක් නෑ. මට දුක ගහ දන්න මට ම චමිලා කොල කඩලා පෙන්නපු එකයි. අපි පිටින් ලස්සනයි කියල හිතන් ඉන්න ගොඩක් දේවල් වල ඇතුල් කුණු ගොඩවල් කියලයි සමහර වෙලාවට මට හිතෙන්නේ.

කවදාවත් බොරුවට ආදරය කරන්න එපා. පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි. ඊට පස්සෙ බොරුවට පිටට ලොකු ආදරයක් පෙන්නගෙන තිත්ත කසාය බොනවා වගේ ජීවත් වෙනවා. අනික තමන් බොලඳයි නම් ඒක ලෝකෙට කියන්න බය වෙන්න ඕන නෑ නේද? තනියම ෂාරුක් ඉන්න චිත්‍රපටි බලලා කට්ටිය සෙට් උනහම ඩා වින්චි කෝඩ් ගැන කතා කරන්නෙ ඇයි?

හිතන්න...හැමෝටම තමන් ආදරය කරන කෙනා ලැබෙනෙ නෑ. ඒ ලැබුනත් කසාද බඳින්න ලැබෙන්නෙත් නෑ. මම වැරදි වෙන්නත් පුලුවන්. ආදරය කසාද බැඳිල්ලෙන් ඉවර වෙන්නම ඕනද. කසාද බැන්ඳට පස්සේ හැමෝම චමිලා වගේ වෙනවද?

අර කියනවා වගේ ඇත්ත තිත්තයි. ඒ තිත්තට මූණ දෙන්න.







No comments:

Post a Comment