Wednesday, May 26, 2010

යට ගියාව 1

මේ වෙලාවෙ මට කරන්න වැඩ ගොඩයි. ඒත් ඒ එක වැඩක් වත් කරන්න ඇඟට හයියකුත් නෑ, හිතට හයියකුත් නෑ. ඇඟට හරියට කෑම බීම ටික වැටුනෙ නැති උනාම ඇඟ ලෙඩ වෙනවා වගේ හිතට හරියන ආදරය ලැබුනෙ නැති උනාම හිත ලෙඩ වෙනවා. ඒත් මේ වෙලාවේ සුන්දර මතක ගොන්නක් හරියට චිත්‍රපටියක් වගේ මට මැවිලා පේන්න පටන් ගන්නවා.

ජීවිතයේ මම පහු කරපු සුන්දරම කාල වකවානු වලින් එකක් තමයි මම කැම්පස් ගිය කාලෙ.ජීවිතය ගැන කිසිම බරක් පතළක් අපට තිබුනෙ නෑ.ඔන්න ඔය කාලේ තමයි මගෙ මේ ජීවිතය පුරාවට "අකලංක" කියන පිස්සාට විතරක් ආදරය කරපු කෙල්ලො අතලොස්සෙන් අහිංසකම සුරංගනාවි මට මුණගැහුනෙ.

කෙල්ලො කොල්ලන්ට ආදරය කරන්න පටන් ගන්න හැටිත් කියන්න මම පොඩි වෙලාවක් ගන්නම්. ඔන්න කොල්ලෙක් ඉතින් පෙරුම් පුරලා පුරලා පස්සෙන් ගිහිල්ලා තමන් ගෙ හිත ගිය කෙල්ලගෙන් අමාරුවෙන් අහුවා කියමුකෝ. ඔන්න කෙල්ල ඊට පස්සෙ දානවා හතර වටේටම රේඩාර් එක. යාලුවො මාර්ගෙයෙන් හොයනවා කොල්ලා සල්ලි කාරයෙක්ද, කොල්ලට කාර් බාර් තියෙනවද, තාත්තට බිස්නස් තියෙනවද, අක්කා ලෝයර් ද, කොල්ලට පවුල් බර නැද්ද, මේ කොල්ලව එල්ලගත්තොත් නම් අපේ හත් මුතු පරම්පරාවම ගොඩ...ඔන්න ඔය වගේ දේවල්. ඒත් හැම කෙල්ලම මේ වගේ නෑ කියලත් කියන්න ඕන.

මේ ගැන මම පස්සෙ ලියන්නම්. ලස්සන ආදර කතාවකට මේ වගේ කුණු ගොඩවල් මැදදි ඇද බාන්නෙ මේ ලියන එකාට පිස්සු ද කියල කියවන අය හිතන්න පුලුවන්. ඒත් හැමදාම කියන්න වගේ ඇත්ත තිත්තයි.

මම උදේ හවස කැම්පස් ගියේ කෝච්චියේ. මටම ගැලපෙන පිස්සු යාලුවො ටිකකුත් මට හිටියා. ගමන දුෂ්කරයි. ඒත් ඒ කෝච්චියේ අපි ගත කරපු කාලය ඉතාම සුන්දරයි. ඒවා දැන් ඉබේටම අතීතෙට එකතු වෙලා. මේ මම කියන්න හදන සුරංගනාව මට මුණගැහෙනකොට මම කැම්පස් එකේ කෝඩුකාරයෙක් නම් නෙවේ. මම හිටියේ තුන් වැනි අවුරුද්දේ.

අපි යාලුවො සෙට් එකට දවසක් උදේ කෝච්චිය මිස් උනා. ඒකත් උනේ මගෙ යාලුවෙක් නිසා. අපි ඉතින් මිනිහාටත් බැන බැන ඔරලෝසුවෙ කටු ගනන් කර කර හිටියැයි කියමුකො.

"මචං...දැන් නම් කොහොමත් යන්න බෑ 8 ලෙක්චර් එකට."

ඔන්න එක යාලුවෙක් කියපි.

"උඹට පිස්සු ද බන්...දැන් ඉතින් අල්ලපන් ඒකෙ වල්ගෙ..."
ඒ තව එකෙක්.

"නෑ බං මූ මේ ෆයර් වෙලා ඉන්නෙ අර ආලෝකා එන හින්දනෙ. නැත්නම් මූට කොහෙද අකුරු කරන්න ආසාවක්..."

මෙන්න මේ වගේ කතා අස්සෙ මම දැන් එබි එබී බලනවා අඩුම ගානෙ ඩක්කුවක් වත් එයිද අපිට පිහිට වෙන්න, කියලා.

එක පාරටම ස්ටේසමේ ලොකු කණු දෙකක් අතරින් ඒ පුංචි සුරංගනාවි මතු උනා. එයා ඇඳන් හිටපු චාම් ලා කොල පාට සාරිය එයාගෙ ඇත්දත් පාට හමට සියට සීයක් ගැලපුනා. එක පාරට හමාගෙන ආපු දඟකාර මුහුදු සුලං රැල්ලක් නිසා තරමක් කොටට කපලා තිබුනු එයාගේ කොන්ඩෙ අවුල් උනා. අමුතුම ලතාවකට දෙනෝදාහක් සෙනග අතරින් පුංචි සුරංගනාවි මම හිටපු පැත්තට අදුනා.

කැම්පස් එකේ බොරු සෝබන කෙල්ලො දැකලා එපා වෙලා හිටපු මට මේ සුරන්ංගනාවිගෙන් ඇස් අහකට ගන්න හිතුනෙ නෑ. කැම්පස් එකේ වැඩි හරියක් හිටියේ බොරු සෝබන කාරයො. කොහේහරි ඈත වන්නියක ඉඳලා කොළඹ එනවා. ඊට පස්සේ ඉතින් ඒ ගොල්ලො තමයි කොළඹ ඔක්කොම දන්නේ. මම මේ කියන්නෙ හැමෝ ගැනම නෙවෙයි. සමහර හොඳ ළමයි හිටියා කවදත් ගම අමතක නොකරපු.

මගේ යාලුවො ටිකට මාව නෝට් වෙලා.

"මචං, අද කාටද කුරුමානම"....එකෙක් අහනවා.

"නෑ බං පොඩි ඒන්ජල් කෙනෙක් ආවා මේ පැත්තට... එකයි බැලුවේ"

කෝ...කෝ..මුන්ටත් පුදුම හදිස්සියක් නෙ තියෙන්නෙ.
මචං එන පොට හරි නෑ. පිය රජතුමා ත් සමගයි උඹේ කුමරිය එන්නේ

අයියෝ...ඉතින් ඉවරයි...මට හිතුනා. දැන් ඔන්න තාත්තයි දූයි අපිව පහු කරගෙන යනවා. අපේ කොල්ලො ටික රටේ නැති සද්ද ටික දැන් මට දානවා.

එකපාරටම මේ දෙපල ගිහින් නැවතුනේ තවත් කෝච්චි සෙට් එකක් ලඟ. කෝච්චි සෙට් එකක් කිව්වේ කෝච්චියේ සෙට් වෙලා එකට යන කට්ටියකට. මම හොඳට ඇස් ඇරලාබැලුවා. ඉස්කොලෙ යන කාලෙ මගෙ ජන්මාන්තර වෛර කෙල්ලෙක් එතන. දැන් මොකද කරන්නෙ. එහෙන් තාත්තා. මෙහෙන් වෛරක්කාරි. ඔන්න එක පාරටම දෙයියො බැලුව වගේ තාත්තා කට්ටියට සමු දීල ආපු පාරෙම යන්න ගියා.

එතකොටම හූ හඬ ඇහුනා. මචං අකලංක යමුද පස්සෙන් එකෙක් කියනවා වගේ මට යාන්තමට ඇහුනා.

මම දෙපාරක් හිතුවේ නෑ...

.....විරාමයකට අවසර........

No comments:

Post a Comment