Monday, June 7, 2010

යට ගියාව (අවසාන කොටස...)

සති මාස ගනන් ගෙවිලා ගියා. චන්දිමා නිසා මගේ හැම දවසක් ම අලුත් උනා. හැමදාම උදේ පාන්දර කටු තියෙන රෝස මල් අතරින් පිපුණු ඒ පිච්චමල දකින්න තරම් මම කොච්චර වාසනාවන්තද. හැමතැනම දුවපු මගේ හිත චන්දිමා නිසා එකතැනකට උනා.

මගේ යාලුවො නම් කිව්වෙ "මචං චන්දිමා නම් උඹට හොඳටම ගැලපෙනවා" කියලයි. ඒත් මම කොහොමද හිත හදාගෙන චන්දිමා ට මේ ගැන කියන්නෙ. මම නිකන් පාවෙන සරුංගලයක් වගේ. මම මගෙ ජීවිතේ කවදාවත් සැලසුම් කරපු කෙනෙක් නෙවෙයි. චන්දිමා මට කැමති වෙන එකක් නෑ කියලයි නිතරම මගේ හිත මට කිව්වෙ.

ඇත්තටම චන්දිමා වගේ කෙල්ලෙක් මම මගේ ජීවිතේටම දැකල තිබුනෙ නෑ. තමන් ව කැපිලා පේන්න ගෑණු ළමයි නොකරන්නේ මොනවද? සමහරු මේක්-අප් තට්ටු තට්ටු තවරගන්නනවා. සමහරු සින්ග්ලිෂ් වලින් කතාව. තව සමහරු ඉන්නේ තමන් හරීම ලස්සනයි කියල හිතාගෙන. මේ එකක්වත් චන්දිමාගෙ තිබුනෙ නෑ. රෝස මල ලස්සන තමයි. ඒත් රෝස මල් වල නටුවල කටු. චන්දිමා රෝස මලක් නෙවෙයි. පිච්ච මලක්. එයාට කවදාවත් රෝස මලක් වෙන්න ඕන උනෙත් නෑ. රෝස මල් වෙන්න දඟලන කිඩාරම් මල් අතරේ එයා හැමදාම පිච්ච මලක්.

අපි හිතන දේවල් ඒ විදියටම වෙනව නම් මේ ලෝකේ කොච්චර සුන්දරද. මගේ අවුරුදු හතරක කැම්පස් ජීවිතයත් ඉවර උනා. ඉඳල හිටල කැම්පස් ගියා. ඒ යනකොට චන්දිමාව බලන්න යන්න මම අමතක කලේ නෑ.

මගේ ජීවිතේ කාලකන්නිම කාලේ ගතවෙමින් තිබුනෙ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මම කාලකන්නියෙක් උනා. ඒ කාලෙ මගේ එකම හයියට හිටියේ මගෙ අම්මයි තාත්තයි අක්කයි මගේ හොඳම යාලුවො අතලොස්සකුයි. ඒ අය පුලුවන් තරම් මගේ කාලකන්නිකම නැති කරන්න උත්සහ කලා. චන්දිමා ගැන තිබුනු මගේ දහසක් බලාපොරොත්තු වලලලා දාන්න මම කලේ ලොකු සටනක්.

හැමෝම මට කිව්වෙ වැඩිදුර ඉගෙනගන්න කියලා. ඔය අතරේ තමයි මට මම මේ දැන් ඉන්න දිහාවට එන්න මගක් පෑදුනේ. මගේ ජීවිතයේ කවදාවත් නොහිතපු පැත්තකට මාව පාවෙලා යනවා වගේ තේරුනා.

මගේ ළඟින් ම හිටපු සමහර යාලුවෝ නම් මට කිව්වේ චන්දිමාවත් කසාද බැඳගෙන ඔය යන ගමන පලයන් කියලා. ඒත් මම කොහොමද එච්චර ආත්මාර්තකාමියෙක් වෙන්නේ. හුඟක් මිනිස්සු තනියම ඉගෙන ගන්න කියලා පිටරට යනවා. ඊට පස්සේ තමන් ට තනියම ඉන්න බැරිවෙනකොට තමයි ගෑණු මතක් වෙන්නෙ. ඔන්න ඊට පස්සෙ තමන්ගේ රටට දුවලා ගිහින් කසාදයක් බැඳගෙන එනවා. චන්දිමාව ඒ වගේ අමාරුවක දාන්න මම හීනෙන් වත් හිතුවේ නෑ.

මේ මොනවත් චන්දිමා දැන්ගෙන හිටියෙ නෑ. දවසක් මට චන්දිමා ගෙන් කෝල් එකක් ආවා.

"හෙලෝ අකලංක...කොහොමද..."
"වරදක් නෑ. ඔයාට කොහොමද..." මම ත් අමාරුවෙන් ඇහුවා.

"හොඳයි...මේ ඉරිදා ඔයාට වැඩක් ද?"
"එහෙම විශේෂ වැඩක් නම් නෑ චන්දිමා ඇයි...?" මමත් වීරයා වගේ උත්තර දුන්නා. මට නිකම් උණ වගේ. ඇයි චන්දිමා මෙහෙම අහන්නේ.

"මට ඔයාව හම්බෙන්න ඕන අකලංක..." චන්දිමාගෙ කටහඬෙත් පොඩි වෙවුලන ගතියක් මට තේරුනා.

"හෙට හවස පහට බෝධියේ උඩ මලුවට එන්න පුලුවන් ද...?"

දෙයියනේ...මම කොහොමද බෑ කියන්නේ.

මට රෑ නින්ද ගියේ නෑ.මුලු රෑම මම කල්පනා කලේ ඇයි චන්දිමා මට කතා කලේ කියලයි...

පහුවෙනිදට එලි උනා. අමාරුවෙන් දවස ගත කරලා ගෙදරටත් බොරුවක් කියලා පන්සල් යන්න සූදානම් උනා.

ගැහෙන හිතත් අරගෙන මම උඩ මලුවට ගොඩ උනා. තාප්පෙට හේත්තු වෙලා ගඟ දිහා බලගෙන ඉන්න චන්දිමාව හොයාගන්න මට එච්චර අමාරු උනේ නෑ. මම ඈතට වෙලා බලන් හිටියා. කවදාවත් නොතිබුන බලාපොරොත්තු වලින් එයාගේ මූන පිරිලා තිබුනා. දිගට දිගේ ඇඳන් උන්නු සුදු ගවුම නිසා ඇත්තටම චන්දිමාව පෙනුනේ පුංචි සුරංගනාවියක් වගේ. තවත් මට බලන් ඉන්න බැහැ.

මම චන්දිමා ලඟටම ගියා. අහිංසකී...මට හිතුනා.

"චන්දිමා...."
කිසිම කලබලයක් තිබුනේ නෑ. එයා එයාගේ අහින්සක ඇස් පුංචි කරලා මා දිහා බැලුවා. තත්පර ගනනකදි අපි දෙන්නා වචන දාහකට වඩා දේවල් ඇස් වලින් හුවමාරු කර ගන්න ඇති.

චන්දිමා ආයිමත් ගඟ දිහා බලා ගත්තා...

"ඇයි චන්දිමා මට එන්න කිව්වේ"

චන්දිමා හිමීන් මගේ අත අල්ලා ගත්තා. ආයිමත් අර අහිංසක ඇස් දෙක පුංචි කරලා මගේ ඇස් දෙකට එබුනා. මගේ පපුව විනාඩියට හැත්තෑ දෙවාරයක් නෙවෙයි, හත් දහස් දෙසිය වාරයක් ගැගෙන්න ඇති.

"මම ඔයාට ආදරෙයි අකලංක...."

මගේ පපුව හිරවෙනවා වගේ මට දැනුනා. මම මොකක් ද දෙන උත්තරේ. මම තව කී දවසද මේ රටේ ඉන්නේ. මම කොහොමද චන්දිමාට කියන්නේ මම එයාට කොච්චර ආදරේ ද කියලා. ජීවිතයේ සමහර දේවල් තියෙනවා අපි කාටවත් පාලනය කරන්න බැරි දේවල්. සමහරු ඒවට දෛවය කියලත් කියනවා. ඒ වගේ වෙලාවල් වලදි අපි හුඟක් අසරණ වෙනවා.

මම හිත හදාගත්තා.

"මේ අහන්න චන්දිමා...මට ඔයාට කැමති වෙන්න බෑ. මට හිතෙන්නෙ නෑ ඔයයි මායි ගැලපෙනවා කියලා. අනික මම තව සුමාන දෙකයි මෙහෙ ඉන්නේ. ඊට පස්සේ මම ඉගෙන ගන්න රටින් පිට යනවා. අනික මට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා...මට දැන්ම ආදරයක් ගැන හිතන්න බැහැ..."

ලෝකෙම තියෙන බොරු ටිකක් මට කොහෙන් ආවද මන්දා. චන්දිමා ගෙ අහිංසක ඇස් දෙක අගට පුංචිම පුංචි කඳුලු බිංදු දෙකක් ආවා. ඒ කඳුලු කැට දෙක කම්මුල් දිගේ රූටලා බිමට වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මගේ පුංචි සුරංගනාවි ව තුරුලු කරන් මමත් ඔයාට ආදරෙයි කියල මුලු ලෝකෙටම කෑ ගහල කියන්න ඇත්නම්....

"එහෙනම් අපි යමුද චන්දිමා..."

"ඔයා යන්න අකලංක.මට තව ටිකක් ඉන්න ඕන. මම මගේ ජීවිතේ මුලින්ම ආදරෙයි කියලා කිව්වෙ ඔයාට. ඒත් ඇයි මටම මෙහෙම උනේ."

"ඔයාට මට වඩා හුඟක් හොඳ කෙනෙක් ලැබෙයි...දුක් වෙන්න එපා"

"යන්න අකලංක...ඔයා යන්න...."

ඉර රතු පාට ගුලියක් වෙලා නිදාගන්න සැරසෙමින් තිබුනා. මැරෙන්න තරම් දුකක් මගේ හිතේ තියාගෙන මම ගෙදරට ගොඩ උනා. දුක තුනී වෙන්න මම කලේ පුලුවන් තරම් අඬපු එකයි.

මට ආත්මාථකාමියෙක් වෙලා චන්දිමා මගේම කරගන්න තිබුනා. එහෙම උනා නම් ඒ අහිංසකීට ගොඩාක් දුක් විඳින්න වෙනවා. චන්දිමා අදටත් දන්නේ නැතුව ඇති මම කොච්චර එයාට ආදරේ ද කියලා. ඒක එයා දැනගන්නවට වත් මම කැමති නෑ. එතකොට එයාට ගොඩාක් දුක හිතෙයි.

කවදාවත් ආත්මාර්ථකාමී වෙලා ආදරය පස්සේ දුවන්න එපා. එහෙම ලබා ගන්න ආදරයට වටිනාකමක් දෙන්න බැහැ. අද හුඟක් දෙනා ආදරය ගනු දෙනුවක් කරගෙන. ආදරයට ම විතරක් ආදරය කරන්න. එතකොට ඒ ආදරය සදාකාලික නැතත් මැරෙන තුරාවටම හරි අපේ හිත් තුල ජීවත් වෙයි.




















4 comments:

  1. මෙහෙම කතාවක් මමත් ලිව්වා....හැබැයි හිතිං හිතලා....

    මේක ඇත්ත කතාවක් නිසා හිතට දැනුනා හොඳටම...ලස්සනට වචන ගලපලා තියෙනවා.....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි චාමර...අපේ මුලු ජීවිතය කතාවක් වගේ...එහෙම නේද...

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම! ජීවිතේ කියන්නේ කතාවක්,ඒක ලියන්නේ අපේ හිත.

    (සහෝ.word verification අයින්කලානං හොඳයි.Customize>>settings>>comments>>Show word verification for comments? තැන "No" කරන්න)

    ReplyDelete
  4. මේ කථාවෙ මුල කියවන කොට මට නම් හිතුනෙ උබ මේ චන්දිමාගෙන් කොහොම හරි අහලා කට්ට කාලා චන්දිමාව උබේම කරගනී කියලා. මම නම් හිතන්නෙ උබට තිබුනෙ චන්දිමාට කැමති වෙලා හැමදේම කියලා එයාට තේරුම් කරලා දීලා එයාගෙ ආශිර්වාදයත් අරගෙනම යන්න තිබුනා කියලා. මම හිතන්නෙ නෑ චන්දිමා ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා.

    නිකමට අපි හිතමු චන්දිමා අහන්නෙ නැතුව ඔයා චන්දිමාගෙන් අහලා චන්දිමා ඔයාට කැමති වෙන්න බෑ කියලා කිව්වනම් උඹට කොච්චර දුක හිතෙයිද ?

    සමහර විට උඹ තාමත් ප්‍රමාද නැතුව ඇති තීරණයක් ගන්න. උඹේ මේ කථාව හැටියට මට හිතෙනවා උඹ චන්දිමාත් එක්ක එකතු උනොත් හොදයි කියලා.

    හොදට හිතලා තීරණයක් ගනින් මචං

    ReplyDelete