Thursday, June 3, 2010

යට ගියාව 3

එදා දවසම මම හිටියෙ සිහියකින් නෙවේ. බලන බලන තැන සුරංගනාවි ඉන්නවා. ඇයි මටම වෙන්නෙ, මම හිතුවා. "එයා අක්ක කෙනෙක්..." වාසනා කියපු දේ මගේ කන් දෙකේ හැමතිස්සෙම දෝංකාර දුන්නා.

කාලය පාවෙලා ගියා. මගේ යාලුවො කීප දෙනෙක් ව වත් මග ඇරලා වාසනා ලගෙ කෝච්චි කට්ටියට හිමින් සෙට් වෙන්න මට පුලුවන් උනා. සුරංගනාවි හරි අමුතුයි. ඒ අමුත්ත ට මම ගොඩක් ආස කලා. එයා වැඩිය කතා කලේ නෑ. අනිත් අය කියන ඒවට අහිංසක කමට හිනාවෙන එක තමයි එයා වැඩිපුර කලේ. වෙලාවකට මට හිතුනා මේ කුරුවල් උන කට්ට කයිරාටික කමින් පිරුණ ලෝකෙක මේ වගේ සුරංගනාවියක් මොනවට පහල උනාද කියල.

දවසක් හොඳටම වැස්ස. මම ස්ටෙෂන් එකට ආවෙ බාගෙට නාල. දැන් නම් සබන් කෑල්ලක් විතරයි අඩු. මම මටම සාප කරගෙනම ස්ටේෂන් එක ඇතුලට ආවා. මගෙ ඇස් දිව්වෙ සුරංගනාවි හොයාගෙන. කවුරුත් නෑ. මදැයි නාගෙන ආවා. මම ගෙදරින් එලියට බහිනකොට මට ඇහුනා අම්මා තාත්තට කියනවා, "මොන කුලප්පුවකට යනවද මන්දා තෙමීගෙන...තව කෝච්චි නෑ වගේ නෙ.."
මමත් ඉතින් මට නෙවී වගේ අවා.

අද හරි වගේ...අඩු ගානේ වාසනාවත් නෑ නෙ රන්ඩුවක් වත් අල්ලන්න.

මම අර මොකාද එක ගිලපු මොකාද වගේ ඉන්නවා. කෝච්චිය එන්න තව වෙලා තියෙනවා.

"අකලංක..." මගේ පිටිපස්සෙන් ඇවිත් කවුද මට කතා කලා.

මට අදහාගන්න බෑ. පුංචි සුරංගනාවි අද හරියට පිනි වැටුණු පිච්ච මලක් වගේ. වැස්සට එයා තෙමිලා. මාව මොහොතකට ගොලු උනා. මට මුලු කෙල්ලො සංහතියම එපා උනා. පිච්ච මල් වගේ ඉන්න පුලුවන් කෙල්ලො ඇයි රෝස මල් වෙන්න දඟලන්නේ. මට හිතුනා. මගේ සුරංගනාවිට පුලුවන් මුලු ලෝකෙටම චාම් කම මොකක්ද කියලා උගන්නන්න.

"ආ...ගූඩ් මෝ(ර්)නින් චන්දිමා..." මම අමාරුවෙන් වචන ගලපගෙන මුල්ම වතාවට නම කියලා එයාට කතා කලා. කොච්චර උනත් එයාට කටක් ඇරලා අක්කා කියන්න මගෙ දිව නැමුනෙ නෑ.

"ගූඩ් මෝ(ර්)නින්...අද වාසනා ල නෑ වගේ නේද...?"

"ඔව් වැස්ස නිසා වෙන්න ඇති..අපරාදෙ කෝච්චිය මිස් වෙයි නේ..."
මම වැස්ස වලාහක දෙවියන්ට හිත යටින් ස්තුති කලා.මම එහෙම කිව්වට මම හිත යටින් ප්‍රාර්ථනා කලේ "අනේ දෙයියනේ අද වාසනා ලට ට්‍රේන් එක මිස් වෙයන්" කියලා.

දෙයියො මගෙ මූන බැලුවා. මමයි චන්දිමයි කෝච්චියට ගොඩ උනා.

අපි හිමින් කතාවට වැටුනා. කතාව කිව්වට මම ප්‍රශ්න අහනවා. එයා උත්තර දෙනවා. සමහර ප්‍රශ්න වලට ඔලුවෙන් විතරයි.

අර කතාවක් තියෙනවා නෙ හිඟන්නා ගෙ පාත්තරේ හෙනහුරා වැටෙනවා කියලා. ඔන්න මගදි අපිට උදැල්ලක් වැටුනා. චන්දිමා ගේ ඉස්කෝලෙ යාලුවෙක් මගදි අපිව දැකලා අපි හිටපු තැනට.

චන්දිමා ගෙ යාලුවා කතා පෙට්ටියක්. එත් මගේ සුරංගනාවි කිසිම කලබලයක් නෑ.

"ඒ කාලේ හරි ෂෝක් නේද චන්දි...ඒ ලෙවල් ක්ලාස් එක තමයි මම නම් කැමතිම..."

ඔන්න මට පොටක් පෑදුනා.

"ඔය ගොල්ල ඒ ලෙවල්ස් කලේ මොන අවුරුද්දෙද..."
චන්දිමා ආයිමත් අහිංසකව හිනා උනා.

"අපි 2000..." යාලුවා පැනලා කියපි

මාව නිකන් පාවෙනවා වගේ තේරුනා. දහසක් බලාපොරොත්තු තත්පර කීපයක් ඇතුලත මගේ ඔලුවෙ වැඩ කලා. මම එච්චර අවාසනාවන්ත නෑ.

චන්දිමා අක්ක කෙනෙක් තමයි. මම හිතපු තරම් අක්ක කෙනෙක් නෙවෙයි. මම ඒ ලෙවෙල් කලේ 2001.

මගේ බලාපොරොත්තු අලුත් උනා. ඒත් මේ වගේ ලොකු සතුටක් එනකොට හිතට පොඩි බයකුත් ආවෙ නැතුව නෙවෙයි.

"වැඩිපුර හිනා උනහම අඬන්න වෙනවා..." අපේ තාත්තා නිතර කියන කතාවක් මට මතක් උනා...











No comments:

Post a Comment