Tuesday, June 15, 2010

ඇගේ කතාව....

දුක් කම්කටොළු, සිත් තැවුල් දැනුනු නැති කෙනෙක් හොයන එක හරියට මිනිහෙක් නොමළ ගෙයකින් අබ මිටක් හොයනවා වගේ වැඩක්. හුඟක් වෙලාවට තමන් ගේ දුක තුනී කරගන්න පුළුවන් ඒ දුක කාටහරි කියලා. විශේෂයෙන්ම තමන් නොදන්නා කෙනකුට.

මගේ ජීවිතයේ වැඩි කාලයක් මම ගමන් බිමන් යන්න තෝරගත්තේ කෝච්චිය. කෝච්චි ජීවිතය වෙලාවකට අට ලෝ දහම වගේ කියලා මට හිතෙනවා. වෙලාවකට විනෝදයි. තවත් වෙලාවකට හරිම කම්මැලියි. සමහර වෙලාවට බයත් හිතෙනවා. ඔන්න ඔයවගේ හැම දේම එකට කලවම් උන කලවම් මැල්ලුමක් වගේ තමයි කෝච්චි ජීවිතය.

මෙහෙම යන එන කොට විවිධාකාර මිනිස්සු අපට මුණගැහෙනවා. සමහට වෙලාවට ඒ මුණගැහෙන අය කවදාවත් අපට අමතක වෙන්නෙ නෑ. සමහර විට එක දවසයි වෙන්න පුලුවන්. ඒත් ඒ අය සමුගන්නේ අපිට හිතන්න යමක් ඉතුරු කරලා.

කැම්පස් යන කාලේ අපට වෙලාවක් කලාවක් තිබුනෙ නෑ යන්න එන්න. දවසක් මට කලින් ගෙදර එන්න හිතුනා. . මගේ ගමන පැය දෙකක් විතර. ඉතින් වාඩි වෙලා යන්න ඕන නිසා මම බම්බලපිටියට යන්නෙ නැතුව මරදානටම ඇද්දා. දවල් වෙලාව. කෝච්චියටත් තව වෙලා තියෙනවා. මම දන්නෙම නැතුව මම ස්ටෙෂන් එකේ කැන්ටිම ලඟට ඇවිල්ලා. එක එක ජාතියෙ කෑම වලින් කැන්ටිමේ ෂෝ කේස් එක පිරිලා. කන්නේ මොනවද කියල හිතාගන්න බැරි හින්දා ගත්තා කිරි පැකට් එකක්. බාගයක් බොන්න ලැබුනෙ නෑ.

"මල්ලි මටත් බොන්න මොනවහරි අරන් දෙනවද?"

මම හැරිලා බැලුවා. අවුරුදු විසිපහක තිහක වගේ කෙල්ලෙක්. පොඩි ලස්සනකුත් තිබුනා. එක පාරටම පොඩි සතුටකුත් ආවා. එත් ඒ එක්කම පොඩි බයකුත් ආවෙ නැතුව නෙවෙයි. මොන ගිනි ගෙඩියක් ද දන්නේ නෑනේ.

මල්ලි කියල කතා කරපු හින්දා පොඩි දුකකුත් ආවා.කොහොම උනත් උදව්වක් නෙ.

අපේ අම්මා තාත්තා කියලා තියෙන්නෙ පුලුවන් දෙයක් නම් තරාතිරම බලන්නේ නැතුව කාටත් උදව් කරන්න කියලයි. කවුරුහරි උදව්වක් බලාගෙන අපි ලඟට ආපු වෙලාවට ඒක වෙන කෙනෙක් ගෙ ඇඟේ ගහලා බෝල පාස් කරන පුරුද්දක් අපේ පවුලේ කාටවත් තිබුනේ නෑ. මම දෙපාරක් හිතුවේ නෑ.

මගේ ලඟින්ම වාඩිවෙලා බීම බොන "අක්කා" දිහා මම බලාගෙන හිටියා. එයා හැසිරුනේ හරියට දවස් ගානකින් කාලා බීලා නෑ වගේ. බීම එකක් වත් බොන්න සල්ලි නැති උනාට එයාගේ සෝබනේ නම් අඩුවක් තිබුනෙ නෑ.කරන්න පුළුවන් සියලුම මෝස්තර ටික කරගෙන තමයි එයා හිටියේ. මෙයාගෙ සල්ලි නැති වෙලාද දන්නෙ නෑ. මට එහෙමත් හිතුනා. කාපු බීපු තැන්වල සතා සරුපය වත් ඉන්නෙ නෑ කියලා කතාවක් තියෙනෙවනේ.

"මගේ කෝච්චියට වෙලාව හරි...මම එහෙනම් යන්නම්."

"කොහාටද මල්ලි යන්නේ."
මම මොකටද මෙයාට යන තැන කියන්නෙ.
"මම යන්නේ මාතර කෝච්චියේ." බහින තැන මම කිව්වේ නෑ.

"මම යන්නෙත් ගාල්ලට..."

කෝච්චිය ආවා. අක්කව මඟ හරින්න මට හිතුනෙ නෑ.

"ටිකට් එක ගත්තට පස්සේ මට කීයක් වත් ඉතුරු උනේ නෑ.ඒකයි ඔයාට කරදර කලේ."
"පාන්දරම තමයි කොළඹ එන්න පිටත් උනේ. හරි හමන් කෑමක් වැටුනෙ නෑ." අක්කා කතාවට වැටුනා.
"මම ආවා කෙනෙක් මුණගැගෙන්න..." ඉතුරු ටික කියන්න ලැබුනෙ නෑ. මෙන්න මෙයා අඬන්න ගත්තා.

මාව නිකන් කරකවල අතඇරියා වගේ. මම මේ මොන ලෙඩක් ද දාගත්තේ කියල මට හිතුනා.
"ඉතින් ඒ කෙනා හම්බුනාද?"මම ඇහුවා.

ඒක දිග කතාවක් මල්ලි. ඔයා අහගෙන ඉන්න කැමති නම් මම කියන්නම්. දැන් මම ළිං කටට වැටිලා ඉවරයි. මෙයාගෙ කතාව අහනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනෙ නෑ.

ඇගේ කතාව....මෙතැන් සිට...

මගේ ගෙවල් ගාල්ලේ. මම ඉස්කෝලෙ යන කාලේ ම මට ප්‍රේම සම්බන්දයක් තිබුනා. ආදරය කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා ම අපේ ගෙවල් වලින් අපට බාධාවක් තිබුනෙ නෑ. ගෙදරට හැන්ගි මුත්තන් සෙල්ලම් කරන්න කවදාවත් අපට ඕන කමක් තිබුනෙ නෑ. මම හිතුවෙ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මම යි කියලා. අපි දෙන්නා ඉක්මනටම කසාද බැන්දා.

මගෙ මහත්තයට කොළඹට මාරුවක් ලැබුනේ අපි බැඳලා ටික කාලයක් ගත උනාම. මමත් වැඩ කලේ බැංකුවේ නිසා මාත් මාරුවක් හදාගෙන අපි දෙන්නම කොළඹ ආවා. කොළඹට ආවට පස්සේ මාව නිකන් ම ඒ ජීවිතයට හුරු උනා. ඇත්තටම මට ගම අමතක උනා ද මං දන්නෙ නෑ. මට ගොඩක් යාලුවො ඇති උනා.

අමිල කියන්නෙ අපේ බැංකුවට නිතර ආ ගිය කෙනෙක්. නළුවෙක් වගේ ලස්සනක් නැති උනාට කතාවෙන් මිනිස්සු නම්මගන්න පුලුවන් හැකියාවක් අමිලට තිබුනා. අමිලව මට පෙනුනෙ දෙවියෙක් වගේ. බැංකුවට වැඩකට ආව වෙලාවට එයා හැමදාම මාත් එක්ක අඩුම තරමේ පැය බාගයක් වත් කතා කරලා තමයි ගියේ.

එයා කියන කරන දේවල්, උයන පිහන හැටි, යන එන ගමන් බිමන්, ඔක්කොම විස්තර මාත් එක්ක කියන්න එයා පුරුදු වෙලා හිටියා. මට මුලින් අමිල ගැන ඇති උනේ අනුකම්පාවක්. කාලයක් යනකොට අමිල මගේ හොඳ යාළුවෙක් උනා. නිතර නිතර අමිල මට දුරකතන ඇමතුම් දෙන්න පටන් ගත්තා. එයාට මගේ මහත්තයාගේ හිත දිනාගන්නත් එච්චර අමාරු උනේ නෑ.

කාලයක් යනකොට අමිල අපේ පවුලේ හිතවතෙක් උනා. එයා අපේ ගෙදර ඉඳලා හිටලා යන්න එන්න ගත්තා.
මාත් අමිලට ගොඩක් සමීප උනා. අපි දෙන්නා නිතර නිතර ෆෝන් එකෙන් කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒ කතා කලාම එයා පොඩි එකා වගේ ඔක්කොම විස්තර මාත් එක්ක කියනවා. ඉතින් මටත් හිතුනේ අමිල ගොඩක් හොඳ කෙනෙක් කියලා.

ටික කාලෙකදි මට අමිලව නැතුවම බැරි උනා. අමිලටත් එහෙමයි. අපි දෙන්නා අතර දන්නෙම නැතුව අමුතුම සම්බන්ධයක් ඇති උනා. අපි ප්ලෑන් කරලා එහෙ මෙහෙ ගියා. මගේ මහත්තයටත් අමිල ගැන පස්සේ කේන්තියක් ඇති උනා.එයා මට කෝල් කරනවට මගේ මහත්තයා කැමති උනේ නෑ. මට දැන් තේරෙනවා කොච්චර යාළුවෙක් උනත් ඕනෑවට වඩා සමීප වෙන්න හොඳ නෑ කියන එක. ඒත් මම නැවත්තුවෙ නෑ. අපිට හම්බෙන්න බැරි උනත් අමිල හැම තිස්සෙම මට කතා කලා.

මගේ මහත්තයා ගැනත් මට මේ වෙනකොට කළකිරීමක් ඇති උනා. ඒ එයාගේ නරක හින්දා නෙවේ. අමිල නිසා. සමහර වෙලාවට අමිල නිසා මම මගේ සමහර දේවල් කැප කලා. ඒ තරමට අමිල මගේ හිත හදලයි තිබුනෙ.
මේ වගේ දේවල් හැමදාම හංගන්න බෑ. කවදාහරි එලිවෙනවා. මගේ මහත්තයට අමිල ගෙයි මගෙයි සම්බ්න්දය ආරන්චි උනා. කොච්චර දෙවියෙක් වගේ කෙනෙක් උනත් මෙහෙම වෙලාවකදි කේන්ති යන එක සාධාරණයි. අන්තිම ප්‍රතිපලය උනේ අපි දෙන්නා වෙන් වෙන්න තීරණය කරපු එකයි. මම බය උනේ නෑ. මොනවා උනත් මට අමිල ඉන්නවා නෙ..කියලයි මම හිතුවෙ. මම ඔක්කොම අත ඇරල දාලා ආපහු ගමේ ගියා. මම අමිලට කතා කරල කිව්වේ මාව ඔයා ලඟට ගන්න කියලයි. මට පුදුම හිතුනා. අමිල කතා කලේ හරියට මැරිලා ඉපදිලා වගේ. එයා කිව්වේ ඔය ඔක්කොම අත ඇරලා ඔයා මහත්තයා ගාවට යන්න කියලා.

පස්සෙ මම අමිල ගැන ආරන්චි කරලා බැලුවා. හොඳ මූණ පෙන්නුවට එයා හොඳ කෙනෙක් නෙව් කියල මට ආරන්චි උනා. එයාගේ යාළුවෝ කියපු හැටියට එයා "ගෑණුන්ගෙන් ආතල් ගන්න කෙනෙක් ". එයා ළඟදි බඳිනවා කියලත් මට ආරංචි උනා. එයාව හොයාගෙන තමයි මම මේ කොළඹ අවේ. මම එයාගෙ වැඩ කරන තැනටත් ගියා. දැන් තමයි මට තේරෙන්නේ කොහෙද යන ඇඹලයෙක් වෙනුවෙන් මම මගේ මහත්තයාවත් නැති කරගත්තා නේද කියලා.

.........................
මම බහින තැනට ළං උනා. ඒ කතාව බොහොම සරල නිතර අපට අහන්න ලැබෙන ජාතියෙ කතාවක්. ඒ උනාට මමත් ඒ වෙනකොට කෙනෙක් ට ආදරය කරමින් හිටිපු නිසා මට "අක්කා" ගේ කතාව දේවල් හොඳට වැදුනා. මින්ස්සු න් ට තව අය ඕන නම් ඒ අය කසාද බඳින්නේ මොකටද. කොච්චර ආදරය කලත් මිනිහෙක් ගෑණියෙක් "පිට යන්න" ගතවෙන්නෙ කොච්චර පොඩි කාලයක් ද?

මම කෝච්චියෙන් බැස්සෙ මෙන්න මේ ප්‍රශ්න ටික ඔලුවෙ පටෝගෙන.

කොච්චර යාලු කම් තිබුනත් පවුල් උනාට පස්සේ ටිකක් පරිස්සම් වෙන්න. අපි යාළුවෝ කියල හිතාගෙන ඉන්න අය සමහර වෙලාවට අවස්ථාවාදියෝ. මේ කතාවේ කතා නායිකාවට වුණ දේ බලන්න. මිනිස්සුන්ගේ දුර්වල තැන් බලලා විස ඔලුවට දාලා පවුල් කඩා ඉහිරවන අයගෙන් පරිස්සම් වෙන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියෙන එපා.

1 comment:

  1. අපි කාට කාටත් හොඳ පාඩමක්!මිනිස්සුන්ගේ ස්වභාවය ඕක තමයි,ආසවන් පස්සේ දුවනවා,අන්තිමට තමන් දන්නෙත් නෑ තමන්ගේ දේවල් හැමදේම නැතිවෙලා!තමං තනිවෙලා!!

    ආදරේ කරද්දි තමන් දැනගන්න ඕනි අනිත් කෙනාට අවංකව ඉන්න.එහෙම නැතිවුණොත්,එතන ලොකු ප්‍රශ්ණයක්!

    ReplyDelete