Tuesday, June 8, 2010

අපි වටේ ඉන්නේ නියම යාළුවොද?

මිනිස්සුන් ට ජීවත් වෙන්න ආදරය අත්‍යවශ්‍යයි. හරිහමන් ආදරයක් ලැබුනු නැති පුද්ගලයා සමාජයටම වෛර කරනවා. ඒ වගේම තමයි මිතුරු කම. ජීවිතයේ තමන්ට දකින දකින හැම පුද්ගලයා එක්කම යාලු කම් පවත්වන්න බැහැ. මම විශ්වාස කරන්නේ කෙනෙක් ට ජීවිතයේ හොඳ යාලුවො ඉන්න පුලුවන් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් කියලයි. යම් කෙනෙක් තමන්ට මුණ ගැහෙන හැම කෙනාටම හොඳ මූන පෙන්නනවා නම් ඒ කෙනා ඉතා භයානක කෙනෙක්.

අනික හොඳ යාලුවෙක් නම් තමන්ගේ අදහස් අනෙකා එක්ක හුවමාරු කරගන්න ඕන. එතකොට තමයි යාලු කම කියන එක පවතින්නේ. සමහර මිනිස්සු කතාවට පෝර දමමින් තමන් ගේ යාලුවාගේ සියලු සියුම් තැන් පවා එලියට අදිනවා. නමුත් තමන්ගේ කිසිම දෙයක් අනෙකා සමඟ හුවමාරු කරගන්නේ නෑ. මදිවට ඒ අය අර කලින් ඇදපු සියුම් තැන් මතකේ හොඳට රඳවගෙන ඉන්නෙ වෙලාව බලලා අනිත් කෙනාව පාගලා දාන්න.

වැදගත්ම කාරනාව තමයි මේ වගේ භයානක මිනිස්සුන් ව අනිත් අයට අඳුනගන්න ගොඩාක් කල් යන එක. සමහර වෙලාවට මුලු ජීවිත කාලෙටම ඒ පුද්ගලයාගේ හරි ස්වරූපය අනිත් අයට අඳුනගන්න බැරි වෙන්න පුලුවන්. යාලුකම මුවාවෙන් මේ අය බලාපොරොත්තු වෙන්නෙ උදව්වක්. එහෙමත් නැත්නම් වෙන අපි හීනෙන් වත් නොහිතන ජාතියේ දෙයක්.

යාලුකම් පවත්වගෙන යන එකත් වෙලාවකට අමාරු වැඩක්. සමහරු හිතන්නේ නිතර නිතර දුරකතන ඇමතුමක් දීලා ඕපා දූප ටිකක් කතා කලාම අන්න එතනයි යාලුකම තියෙන්නේ කියලා. මේ වගේ දේවල් වලින් පවුල් ජීවිතය වලට පවා හානි වෙන්න පුලුවන්. සමහර පුද්ගයන් ඉන්නවා කාන්තාවන්ට අතිශය ඇල්ම දක්වන. මේ අය තමන් ගේ ඒ සියුම් ආශාවන් සපුර ගන්නනේ කිනම් හෝ ගෑණු පරාණයක් සමග අල්ලාප සල්ලාපයේ යෙදිලා. කාන්තාව මේ ගැන කිසිවක් දන්නේ නැහැ. ඒ අය හිතන්නේ මේ පුද්ගලයා තමන්ට ඇති හිතවත් කමට තමයි මේ කතා කරන්නේ කියලා.

කලින් සඳහන් උනා වගේ මේ වගේ පුද්ගයලයින් ව අඳුනා ගැනීම බොහෝ දුරට අසීරුයි. යාලුකමේ මුවාවෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන මෙවැනි අනංගයින් ගේ ඇත්තේ නියමාකාර යහලු කමක් නෙවෙයි. කාන්තාවන් ඉදිරියේ ඉතාමත් හොඳ මූණක් පෙන්වා ගෙන ඉන්නා මොවුන් යටි හිතෙන් කල්පනා කරන්නේ අදාල කාන්තාව සමග යහන් ගත වෙන විදියක්. ඉතාම දුක් බර කාරණය තමයි මෙවැනි බැටළු හම් පොරවාගත් නරියන්ගේ ගති පිටට එලි නොවීම. නියමාකාර මිතුරෙක් නම් දවසකට සතියකට වරක් නෙවෙයි. අවුරුදු දහයක් ගිහින් මතක් උනත් අර පරණ මිතුරු කම එහෙම ම තියෙනවා. ඒක නිසා යාලුකම් පවත්වන්න නිතර නිතර දුරකතන ඇමතුම දෙන්න අවශ්‍යතාවක් නැහැ. සමහර කපටි මිනිස්සු මෙහෙම කරන්නේ හැමෝගෙම හොඳ හිත තියාගන්න. අර කියමනකුත් තියෙනවානෙ Everybody's friend is nobody's friend කියලා.

තවත් මිතුරු කොට්ටාසයක් ඉන්නවා තමන්ගේ වැඩේටම විතරයි. තමන් කිසිම දෙයක් නොදන්නා බව පෙන්නලා අනිත් අයගෙන් උදවු ගන්න මේ අය හරිම දක්ෂයි. ඒත් තවකෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් එනකොට ඒක වෙන කෙනක් ට පවරලා අත පිහිදගන්න එක මේ ජාතියේ අයගේ තවත් ලක්ෂණයක්. මෙවැනි පුද්ගයන් මිතුරෙක් ට උදව්වක් කරන්නේ ලෙන්ගතුකමකින් නෙවෙයි. ඒ අය උදව්ව කරන්නේ සාප කරමින්. මේ කට්ට මට කන්න උනා නේද කියල හිත හිත. හැබැයි තමන්ට වාසියක් වෙනවා කියලා තේරුනොත් මෙවැනි අය උදව් කරන්නේ තමන් ගෙ අම්මා තාත්තා වත් නොකරන ගානට.

තවත් කොටසක් ඉන්නවා උදව්වට විතරක් මතක් වෙනවා. අනිත් වෙලාවට උන්නද මළාද කියල බලන්නෙ නෑ. තමන්ට උදව්වක් ඕන වෙලාවට ඒක කරගන්නකම් පණ උනත් දෙන්න මේ අය සූදානම්. තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්න මේ අයට හොඳට පුලුවන්. මළ ගෙදරකින් හරි කමක් නෑ තමන් ගේ වැඩේ කෙරෙන්නයි මේ අයට ඕන.

සමහරු ‍යාළුවට කරදරයක් උනාම බොරුවට අනේ අපොයි කියලා දුක් වෙනවා. ඒත් හිත යටින් තියෙන්නෙ සතුටක්. කරදරයෙන් අයින් උනාම බොරුවට සතුටු වෙලා හිත යටින් සාප කරනවා "අනේ මූ ට හරි ගියානෙ" කියලා.

හැම ආගමකම හොඳමිතුරන් වටහා ගන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. ඒ අතරින් බුදු දහමේ නරක මිතුරන් බැහැර කරන්නේ කොහොමද, හොඳ මිතුරන් තෝර ගන්නේ කොහොමද කියලා ටිකක් කියන්නත් මේ වෙලාවේ ඉඩක් ගනිමු.

අඤ්ඤදත්තුහර - යමක් ලබා ගැනීමට පමණි
මෙවැනි අයගේ ලක්ෂණ කීපයක් මෙහෙම සඳහන් වෙනවා

හිස් අතින් එනවා. මිතුරාගෙන් යමක් බලාපොරොත්තු වෙනවා
පොඩි දෙයක් දීලා ලොකු දෙයක් මිතුරාගෙන් බලාපොරොත්තු වෙනවා
තමන්ට බයක් කරදරයක් වෙලාවට විතරක් මිතුරාව මතක් වෙනවා
මේ වගේ අය මිතුරු ඇසුර කරන්නෙ තමන් ගෙ ප්‍රයෝජනයටම විතරයි.

වචීපරම - මේ අයගෙ වැඩ ඔක්කොම වචනෙන් විතරයි

මෙන්න මේ වගේ ලක්ෂණ තමයි මේ අයගේ තියෙන්නෙ

මේ අය මිතුරන් ට සංග්‍රහ කරන්නෙ කල් පැනපු තමන් ට වැඩක් නැති දේවල් වලින්.
උදව්වක් ඕන වෙලාවට මේ අය හොයාගන්න වත් නෑ.

අනුප්පියභාණී - මේ අය මිතුරා ළඟ හොඳ කියන අයයි.
තමන් ගේ යාළුවා කරන හොඳ නරක දෙකටම මේ අය උල්පන්දන් දෙනවා.
ඇති තැන හොඳ කියල නැති තැන නරක කියනවා.

අපාය සහාය - වචනයෙන් ම මේ අය කවුද කියලා පේනවනේ. මේ වගේ අය තමන් ගේ යාලුවන්ව හැම නරක වැඩකටම යොමු කරනවා. සූදුවට මත් පැනට වගේ.

අනිත් අතට හොඳ මිතුරන් ගැනත් මේ වගේම විස්තර වෙනවා.

උපකාරක
උපකාරක මිතුරා තමන්ගේ මිතුරාව කරදරයක් උන වෙලාවට ආරක්ෂා කරනවා.
මිතුරාගේ දේපල වස්තුව රකිනවා.
මිතුරා බය උනාම ඒ බය නැති කරන්න උදවු කරනවා
උවමනා විටදි දෙගුනයකින් සංග්‍රහ කරනවා

සමාන සුක්ඛ දුක්ඛ
මේ වර්ගයේ පුද්ගලයා අනෙකාගේ රහස් අහලා රැකගන්නවා වගේම තමන් ගේ රහසුත් මිතුරා එක්ක බෙදාහදාගන්නවා. අපහසු අවස්ථාවකදි පිහිට වෙන මේ අය මිතුරා වෙනුවෙන් ජීවිතය හරි දෙන්න පුලුවන් අයයි.

අත්ථක්ඛායි
තමාගේ මිතුරාව වරදින් වලක්වලා හොඳ දේවල් වලට යොමු කරන ලක්ෂණය මේ අයගේ දකින්නට පුලුවන්.

ආනුකම්පික
මිතුරාගේ දුකේ දි දුක් වෙලා සතුටෙදි සතුටු වෙන්න මේ අයට පුලුවන්. තමන්ගේ මිතුරාගේ අගුණ කියන්නේ නැතුව මිතුරා ගේ ගුණ කියන එකත් මේ අයගේ ලක්ෂණයක්.

යාලුකම් පවත්වන්න කොන්දේසි දාගන්න එපා. අනේ කලෙකින් කතා කරපු නැති නිසා අරයා තරහ වෙලා ඇති, එයා මොනව හිතයි ද දන්නෑ, මේ උදව්ව නොකලොත් එයා තරහ වෙයි ද දන්නෙ නෑ, එයා අපිට කලානේ ඒ නිසා අපි එයාට කරන්න ඕන. මෙන්න මේ වගේ වෙන්න එපා. තමන්ගේ හොඳ යාලුවෙක් නම් අර කලින් කිව්ව වගේ අවුරුදු ගනනාවක් වෙන් වෙලා හිටියත් කවදාවත් තමන් ව අමතක කරන්නෙ නෑ.

(දහම් කරුණු උපුටා ගත්තේ...

පොසොන් පොහොය වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් තිළින කරපු පොත් පිංචකින්...
බු.ව. 2546)

4 comments:

  1. හොද ලිපියක්.
    "යම් කෙනෙක් තමන්ට මුණ ගැහෙන හැම කෙනාටම හොඳ මූන පෙන්නනවා නම් ඒ කෙනා ඉතා භයානක කෙනෙක්."
    මේ කාරනයනන් සහතික ඇත්ත.ඔය වාගෙ මිනිස්සුන්ව නන් සත පහකට විශ්වාස කරන්න අමාරුයි.

    ReplyDelete
  2. හරිම වටිනා ලිපියක්. මිතුරු වෙසින් ඉදලා කරන සතුරු වැඩ නිසානේ දැන් මේ හුඟක් අර්බුදවලට හේතුව.

    ඒක නිසා අපි අපේ ගුරුතුමෙක්ගේ උපන්දිනය දවසේ මිත්තානිසංස සූත්‍රය සිංහල තේරුමත් තියෙන විදිහට සකස් කරලා කැලණි පන්සලේදී ධර්ම දානයක් විදිහට බෙද හැරියා.

    මිතුරු කමේ වටිනාකම දැන් හැමෝම තේරුම් ගන්න ඕනේ කාලය ඇවිත් :)

    ReplyDelete
  3. ස්තුතියි. ඇත්තටම අද කාලේ මිතුරන් ඇති කරන් ගැනීම කියන්නේ ඉතාම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඉතා හොඳ යාලුවන් කියලා කට්ට කෛරාටිකයින් අශ්‍රය කරන අයව ඉන් මුදවගන්නත් කාලය ඇවිත් නේද?

    ReplyDelete
  4. සැබෑ මිතුරන්ව අඳුනගන්න නං , ජීවිතේ එක පාරක් හරි වැටෙන්නම වෙනවා..වැටුණු වෙලාවට බලාගතෑකි කවුද සැබෑ යළුවා,කවුද බොරුකාරයා කියලා...

    ReplyDelete